Beyond Rank: යුද බිමේ පන්නරය ලැබූ සන්නාහ සන්නද්ධ බලකා නිලධාරියෙකුගේ සිට ආයතන ගොඩනගන්නෙකු දක්වා

Capture

1986 අප්‍රේල් 20 වැනිදා කන්තලේ වැව් බැම්ම බිඳී ගිය අවස්ථාවේ එය කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට පුළුල් සැකයක් පැවතිණි. වැව් බැම්ම කැඩී ගිය ස්ථානයට සමීපව රැඳී සිටි හමුදා අනුකණ්ඩයට අණදුන් කපිතාන් මිලින්ද පීරිස්, ව්‍යසනය  සිදුවන අයුරු සියැසින් දුටුවේය. වහා ක්‍රියාත්මක වූ ඔහු සිදු වෙමින් පැවති ව්‍යසනයේ  ඇරඹුම  සිය කැමරා කාචයෙහි  සනිටුහන් කර  ගනිමින් අදාළ අංශ දැනුවත්  කොට ක්ෂණික සහන කටයුතුවලට එක් වූයේ ය.




ව්‍යසනයෙන් අනතුරුව, ඔහු ගත් එම ඡායාරූප, වැව් බැම්ම කැඩී යාම හිතාමතා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට පැවති මතය අභියෝගයට ලක් කිරීම සඳහා  ප්‍රබල සාක්ෂි බවට පත්විය.

කිත්සිරි අමරතුංග විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත පිටු 397කින් සමන්විත Beyond Rank – The Leadership and Legacy of Major General Milinda Peiris නමැති චරිතාපදානය තුළින් මෙතෙක් එතරම් ප්‍රකට නොවූ  මෙවන් සිදුවීම්  හා අත්දැකීම් රැසක් අනාවරණය කරයි.

හමුදා විනයෙන් හැඩගැසුණු, යුද්ධයෙන් හා දුෂ්කරතාවලින් පරීක්ෂාවට ලක් වූ, හමුදා රාජ්‍යතාන්ත්‍රික සේවයෙන් පුළුල් අත්දැකීම් ලැබූ සහ අවසානයේ ආයතන ගොඩනැගීමෙන් සුවිශේෂී වූ ජීවිත ගමනක් මෙම කෘතිය ඔස්සේ විවරණය කෙරේ. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේවයේ සිට දුෂ්කර යුද මෙහෙයුම්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික සේවය, ජ්‍යෙෂ්ඨ හමුදා නායකත්වය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය දක්වා වූ මිලින්ද පීරිස්  සෙන්පතියාගේ වෘත්තීය ගමන, ශ්‍රී ලංකාවේ සමකාලීන ඉතිහාසයේ අතිශයින් කැලඹිලි සහගත දශක කිහිපයක් පසුබිම් කරගෙන දිගහැරේ.

1996 වසරේ සත් ජය III මෙහෙයුමේ නියැලී සිටිය දී බරපතළ තුවාල ලැබූ ඔහු, ජීවිත තර්ජනයෙන් මිදුන ද නැවත සක්‍රීය සේවයට එක්වීමට නොහැකි වනු ඇතැයි යන වෛද්‍ය මතය දැඩි අධිෂ්ඨානය තුළින් අභිබවා යමින් නැවත සක්‍රීය සේවයට එක් වූයේ සියලු දෙනා මවිතයට පත් කරමිණි.

එවැනි අත්දැකීම් හේතුවෙන් Beyond Rank හුදෙක් හමුදා ජයග්‍රහණ පිළිබඳ කතාවකට සීමා නොවේ. අභියෝග හමුවේ නැවත නැගී සිටීම, දරා සිටීමේ ශක්තිය, උපායමාර්ගික හා විචක්ෂණශීලී තීරණ ගැනීම, මිත්‍රත්වය, පක්ෂපාතීත්වය, කෘතඥතාව සහ පීඩනය යටතේ නායකත්වය දැරීම වැනි පුළුල් තේමාවන් මෙම කෘතිය තුළින් ප්‍රකට වේ.

කෙසේ වුවද, මෙම චරිතාපදානයේ කේන්ද්‍රීය කතාව යුද බිමෙන් ඔබ්බට විහිදෙයි.

2008 දෙසැම්බර් මාසයේ දී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් සෙන්පතියා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) උප කුලපතිවරයා ලෙස වැඩ භාර ගනිමින්, හමුදා සේවයෙන් වෙනස් වූ අධ්‍යාපනික හා ආයතනික ක්ෂේත්‍රයකට පිවිසියේය. ඔහුගේ නායකත්වය යටතේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අධ්‍යාපනික හා ආයතනික සංවර්ධනයේ වැදගත් අවධියකට පිවිසියේය.

එහි අධ්‍යාපනික පරාසය පුළුල් වූ අතර, නව පීඨ සහ උපාධි පාඨමාලා ස්ථාපිත කෙරිණි. අනේවාසික සිවිල් ශිෂ්‍යයන් සඳහා ද ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දොරගුළු විවර විය. යටිතල පහසුකම් සංවර්ධනය වූ අතර, වෛද්‍ය පීඨය සහ විශ්වවිද්‍යාල රෝහල පිහිටුවීම විශ්වවිද්‍යාලයේ ඉදිරි දැක්මේ වැදගත් සන්ධිස්ථාන බවට පත්විය.

සෙබළුන්ට අණදීමේ සිට ආයතන ගොඩනැගීම හා ශක්තිමත් කිරීම දක්වා වූ මෙම පරිවර්තනය Beyond Rank කෘතියේ පුළුල් තේමාවට පදනම සපයයි. නිලය, තනතුර සහ අණදීමේ බලය අවසන් වූ පසු ඉතිරි වන්නේ කුමක්ද යන පැනය මෙම චරිතාපදානය තුළින් ඉස්මතුවේ. නායකත්වයේ සදාකාලික වටිනාකම රඳා පවතින්නේ එය බලපෑම් කළ මිනිසුන් තුළත්, වඩාත් ශක්තිමත් කර ඉතිරි කළ ආයතන තුළත් බව එමගින් පෙන්වා දෙයි.

සම්මුඛ සාකච්ඡා, පෞද්ගලික මතක සටහන්, ලේඛනමය මූලාශ්‍ර සහ පුළුල් ඡායාරූප එකතුවක් පදනම් කරගනිමින් කතුවරයා, මිලින්ද පීරිස් නම් වූ  සෙන්පතියාගේ  ජීවිත කතාව තත්කාලීන හමුදාමය, දේශපාලනික, සමාජීය සහ අධ්‍යාපනික පසුබිම් සමඟ සම්බන්ධ කරමින් ඉදිරිපත් කරයි.

කෘතියට පිටු 41කින් සමන්විත ඡායාරූප එකතුවක් ද ඇතුළත් වන අතර, එමඟින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ, හමුදා සේවයේ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟ පැවති සම්බන්ධතාවයේ වැදගත් අවස්ථා දෘශ්‍යමය ලෙස ඉදිරිපත් කෙරේ.

කෘතියේ පසු කවරයේ පළ කර ඇති ප්‍රවීණයන් දෙදෙනකුගේ ඇගයීම් එහි පුළුල් වැදගත්කම තවදුරටත් තහවුරු කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයකු සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරයකු වන ජෙනරාල් ජී. එච්. ද සිල්වා මහතා කෘතිය සඳහා පෙරවදන සපයමින් ඉහළම නායකත්ව ප්‍රමිතීන් හා ජාතික සේවය අපේක්ෂා කරන සියලු දෙනා විසින් කියවිය යුතු කෘතියක් ලෙස මෙම චරිතාපදානය හඳුන්වා දෙයි.

එක්සත් ජනපදයේ වෙස්ට් පොයින්ට් හමුදා ඇකඩමියේ හිටපු ජ්‍යෙෂ්ඨ පර්යේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා මිලින්ද පීරිස් දැක්වූ දායකත්වය කෙරෙහි අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව “අධ්‍යාපනික වෘත්තීය විශිෂ්ටත්වයේ සිතියමට” ගෙන ආ නායකයකු ලෙස මිලින්ද පීරිස් හඳුන්වා දෙන අතර, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය  “ලොව සිව්වන හොඳම ආරක්ෂක ඇකඩමිය” ලෙස ජාත්‍යන්තර ප්‍රමුඛත්වයට ගෙන ඒමට ඔහුගේ නායකත්වය දායක වූ බව පෙන්වා දෙයි. එමෙන්ම මෙය “ආයතන ගොඩනැගීම පිළිබඳ අනිවාර්යයෙන් කියවිය යුතු කෘතියක්” ලෙස ද ඔහු හඳුන්වයි.

කර්තෘ කිත්සිරි අමරතුංග මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිටපු ඉංග්‍රීසි විෂය පිළිබඳ  ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්යවරයකු සහ කළමනාකරණ, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙකි.

විශ්වවිද්‍යාලය සමඟ ඔහුගේ දිගුකාලීන සම්බන්ධතාව හේතුවෙන්, එහි සංවර්ධනයේ වැදගත් යුගයක් පිළිබඳ සමීප නිරීක්ෂණය හා ලේඛනමය පර්යේෂණය ඒකාබද්ධ වූ දෘෂ්ටිකෝණයක් මෙම චරිතාපදානයට ලැබී ඇත.

Beyond Rank — The Leadership and Legacy of Major General Milinda Peiris කෘතිය විජිත යාපා ප්‍රකාශන විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, විජිත යාපා පොත්හල් වෙතින් ලබාගත හැකිය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව