බෙස්ට් වෙස්ටර්න් හෝටල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් ගෝලීය සන්නාම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ හෝටල් 4,000කට අධික සංඛ්‍යාවක් වර්ල්ඩ්හෝටල්ස් සන්නාමය යටතට ගෙන එයි

Sri Lanka_Horizontal Image (LBN)

කොළඹ, 2026 ඔක්තෝබර් 28: ඇමෙරිකා එක්සත් ජනපදයේ මූලස්ථානය පිහිටි, බෙස්ට් වෙස්ටර්න් සන්නාමය හිමි සත්කාරක සේවා සමූහය වන බීඩබ්ලිව්එච් හෝටල්ස්, රටවල් 100ක් පුරා පිහිටි හෝටල් 4,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත සිය හෝටල් ජාලය, වර්ල්ඩ්හෝටල්ස් ප්‍රධාන සන්නාමය යටතේ ඒකාබද්ධ කරමින් සිටී. මෙමගින් සන්නාම 18ක්, පාරිභෝගික පක්ෂපාතීත්ව වැඩසටහන් සහ ඩිජිටල් වේදිකා එක් අනන්‍යතාවක් යටතට ගෙන එනු ලැබේ.

මෙම පරිවර්තනය සිදු කෙරෙන්නේ, සුඛෝපභෝගී, සුවිශේෂී සැලසුම් සහිත කුඩා හෝටල්, ඉහළ මට්ටමේ හෝටල්, දීර්ඝ කාලීන නවාතැන් පහසුකම් සහ අඩු වියදම් නවාතැන් පහසුකම් ඇතුළත් සමූහයේ සමස්ත හෝටල් ජාලයෙන් සංචාරකයන් දැන සිටින්නේ කොටසක් පමණක් බව අනාවරණය වූ පාරිභෝගික පර්යේෂණයකින් අනතුරුවය. එක් එක් හෝටලය සිය වර්තමාන නාමය සහ අනන්‍යතාව එලෙසම පවත්වාගෙන යන අතර, පොදු ගෝලීය වේදිකාවක් හරහා වැඩි ප්‍රසිද්ධියක් ලබාගැනීමට අවස්ථාව හිමි වේ.




“සෑම ආකාරයකම සංචාරයකට පාහේ ගැළපෙන හෝටලයක් අප සතුව තිබෙනවා. නමුත් බොහෝ සංචාරකයන් දන්නේ අපගේ හෝටල් ජාලයේ කොටසක් ගැන පමණයි,” යනුවෙන් වර්ල්ඩ්හෝටල්ස්හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලැරී කුකුලික් පැවසීය. මෙම පරිවර්තනය මගින් සංචාරකයන්ට සමූහය පිරිනමන සේවාවන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වන අතර, ස්වාධීන හෝටල් හිමිකරුවන්ට තමන්ගේ සුවිශේෂී අනන්‍යතාව අහිමි කර නොගෙන ජාත්‍යන්තර මට්ටමින් තරග කිරීමට ද අවස්ථාව සැලසෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අනුව, 2025 වසරේදී ශ්‍රී ලංකාවට වාර්තාගත සංචාරකයන් මිලියන 2.36ක් පැමිණ ඇති අතර, එය 2024 වසරට සාපේක්ෂව 15.1%ක වර්ධනයකි. 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 1.69ක් විය.

වර්ල්ඩ්හෝටල්ස් මේ වන විට කොළඹ පිහිටි බෙස්ට් වෙස්ටර්න් එලියොන් හෝටලය ක්‍රියාත්මක කරයි. මෙම ගෝලීය ඒකාබද්ධකරණය මගින් ශ්‍රී ලංකාවේ එහි මෙහෙයුම් සඳහා වඩාත් ඒකාබද්ධ වූ ජාත්‍යන්තර බෙදාහැරීම් ජාලයක් සහ පාරිභෝගික පක්ෂපාතීත්ව ජාලයක් වෙත ප්‍රවේශය හිමි වනු ඇත.

වර්ල්ඩ්හෝටල්ස්හි දකුණු ආසියානු කලාපීය සභාපති රංජන් භට්ටාචාර්ය මහතා මෙසේ පැවසීය. “විශිෂ්ට සන්නාම ගොඩනැගෙන්නේ විශ්වාසය මතයි. ඒවායේ උරුමය මගින් එම සන්නාම තවදුරටත් ශක්තිමත් වන අතර, කාලයට අනුව වෙනස් වීමට ඇති හැකියාව මගින් ඒවායේ අඛණ්ඩ පැවැත්ම තහවුරු වෙනවා. වර්ල්ඩ්හෝටල්ස් වෙත සිදු කෙරෙන මෙම සංක්‍රාන්තිය එම ගමනේ වැදගත් පියවරක් සනිටුහන් කරනවා. එමගින් බෙස්ට් වෙස්ටර්න් සන්නාමය ගොඩනගා ඇති ශක්තිමත් පදනම මත තවදුරටත් ඉදිරියට යමින්, අපගේ හෝටල් හවුල්කරුවන්ට සහ අමුත්තන්ට වැඩි අවස්ථා නිර්මාණය කිරීමට අපට හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ සත්කාරක සේවා ක්ෂේත්‍රය වර්ධනයේ උද්යෝගිමත් නව අවධියකට පිවිසෙන මේ මොහොතේ, වර්ල්ඩ්හෝටල්ස් සන්නාමය රටේ අනාගත හැකියාවන් පිළිබඳ අපගේ විශ්වාසය පිළිබිඹු කරනවා. එමෙන්ම, ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරය සුවිශේෂී කරන අනන්‍යතාව සහ දේශීය ලක්ෂණ ආරක්ෂා කරමින්, ගෝලීය ප්‍රමිතීන්, පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් සහ සුවිශේෂී ආගන්තුක සත්කාර අත්දැකීම් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට අප දක්වන කැපවීම ද එමගින් පෙන්නුම් කරනවා.”

වර්ල්ඩ්හෝටල්ස්හි දකුණු ආසියානු කලාපීය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අතුල් ජේන් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරකයන් අතර ශක්තිමත් කීර්තිනාමයක් ගොඩනගාගෙන තිබෙනවා. එම සංචාරකයන් වෙත ඵලදායී ලෙස ළඟා විය හැකි හෝටල් හිමිකරුවන්ට මෙයින් නව අවස්ථා නිර්මාණය වෙනවා. වර්ල්ඩ්හෝටල්ස් හරහා අපගේ හෝටල් පහසුවෙන් සොයාගැනීමට සහ වෙන්කරවා ගැනීමට හැකි වන පරිදි කටයුතු කිරීම අපගේ අරමුණයි. ඒ සමඟම, විශාල ගෝලීය ජාලයක ප්‍රතිලාභ දේශීය හවුල්කරුවන්ට ලබාදීමට ද අප බලාපොරොත්තු වෙනවා.”

2027 ජනවාරි 5 වැනිදා ආරම්භ කිරීමට නියමිත වර්ල්ඩ්හෝටල්ස් රිවෝර්ඩ්ස් වැඩසටහන මගින් දැනට පවතින පාරිභෝගික පක්ෂපාතීත්ව වැඩසටහන් එක් පද්ධතියක් යටතට ඒකාබද්ධ කෙරෙන අතර, එය සාමාජිකයන් මිලියන 70ක් පමණ ආවරණය කරනු ඇත. දැනට පවතින ලකුණු, සාමාජිකයන් සඳහා වන විශේෂ ගාස්තු සහ ත්‍යාග ප්‍රතිලාභ එලෙසම පවත්වාගෙන යමින්, මෙම වැඩසටහන යටතේ සාමාජිකත්ව මට්ටම් තුනක් හඳුන්වා දීමට නියමිතය.

නව සැලසුමකට අනුව සකස් කරන ලද වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක් මගින් හෝටල් වෙන්කරවා ගැනීම්, ත්‍යාග ප්‍රතිලාභ සහ සංචාරක ගමනාන්ත පිළිබඳ තොරතුරු සොයාගැනීමේ පහසුකම් ඒකාබද්ධ කෙරේ. ඒ සඳහා ලොව පුරා හෝටල් කණ්ඩායම්වලින් පැය 10,000කට අධික කාලයක් තුළ රැස්කරගත් දැනුම සහ අවබෝධය පදනම් කරගෙන ඇත.

මෙම පරිවර්තනය යටතේ වර්ල්ඩ්හෝටල්ස් කලෙක්ෂන් ද හඳුන්වා දෙන අතර, එමගින් සුඛෝපභෝගී සහ ඉහළ මට්ටමේ හෝටල් සන්නාම හයක් ස්වාධීන හෝටල් සඳහා වන එක් ජාත්‍යන්තර වේදිකාවක් යටතට ගෙන එනු ලැබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව