Barista Coffee Lanka සමාගම සුවිසල් ඉදිරි පියවරක් තබමින් සිය NVQ Level 4 ප්‍රථම සහතික පත් ප්‍රධානෝත්සවය සාර්ථකව අවසන් කරයි 

WhatsApp Image 2026-10-01 at 08.59.03 (LBN)

Barista Coffee Lanka පුද්. සමාගම සිය අධ්‍යාපනික, වෘත්තීය පුහුණු සහ මානව සම්පත් සංවර්ධන ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ප්‍රථම NVQ Level 4 සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා RNH ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වනු ලැබීය. මෙම සුවිශේෂී සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී NVQ Level 4 පාඨමාලාව සාර්ථකව අවසන් කළ වෘත්තීය බැරිස්ටා සේවකයන් 17 දෙනෙකු නිල ඇගයීමට හා සම්මානයට පාත්‍ර වූහ.

2021 වසරේදී ආරම්භ කළ මෙම සුවිශේෂී වෘත්තීය පුහුණු වැඩසටහනෙහි අරමුණ  ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන තරුණ වෘත්තිකයන්ට කර්මාන්තයට ගැළපෙන ප්‍රායෝගික කුසලතා සහ දැනුම ලබාදීමයි.  ඒ වෙනුවෙන් ‘Barista සහතිකපත්‍ර පාඨමාලාව’ හඳුන්වා දීමට Barista කටයුතු කරන ලදී.  අඛණ්ඩ සංවර්ධනය සහ උසස් ප්‍රමිතීන් හේතුවෙන්, මෙම පාඨමාලාව වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ NVQ Level 3 පිළිගැනීම හිමි කර ගැනීමට සමත් වූ අතර ඉන්පසු ගතවූ වසර දෙක තුළදී රජය විසින් නිල වශයෙන් පිළිගත් ජාතික සුදුසුකමක් වන NVQ Level 4 ප්‍රමිතිය දක්වා ඉහළ නංවන ලදී.




‘Barista සහතිකපත්‍ර පාඨමාලාව’ සිසු සිසුවියන්, පුහුණුකරුවන්, කථිකාචාර්යවරුන්, ඇගයීම් නිලධාරීන්, කළමනාකාරීත්වය, සහායක කණ්ඩායම් සහ වෘත්තීය අධ්‍යාපන බලධාරීන්ගේ කැපවීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය හේතුවෙන් මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව සඳහන් කරන Barista Coffee Lanka ආයතනය ආරම්භක පුහුණු පාඨමාලාව රජය විසින් නිල වශයෙන් පිළිගත් ජාතික සුදුසුකමක් වන NVQ Level 4 පිළිගැනීම දක්වා ඉහළ නැංවීමට දායක වූ සියලු‍ම දෙනා වෙත ස්තුතිය පල කර සිටියි.

මෙම උසස් වෘත්තීය පාඨමාලාවේ සාර්ථකත්වය වෙනුවෙන් සුවිශේෂී සහයෝගයක් ලබා දුන් ජාතික යොවුන් බලකායේ ගෞරවනීය නිලධාරීන් වෙත සමාගම සිය කෘතඥතාවය පළ කර සිටියි. එහිදී  විශේෂයෙන් තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. ඒ. ලලිත්ධීර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජිත් පොල්වත්ත මහතා සහ අධ්‍යක්ෂ ටී. සෙන්තුරන් මහතා වෙත ස්තුතිය පල කර සිටියි. ජාතික යොවුන් බලකාය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ බී. ඒ. ගාමිණී වික්‍රමපාල මහතා, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය මහතා, අතිරේක අධ්‍යක්ෂ (පාලන හා මුදල්) ආර්. එන්. පුෂ්පකුමාර මහතා සහ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන මහත්මිය වෙතද සිය කෘතඥතාව පල කර සිටින ලදී. මෙරට වෘත්තීය අධ්‍යාපනය සහ තරුණ ශ්‍රම බළකායේ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඔවුන් ලබා දුන් විශිෂ්ට මඟ පෙන්වීම, සහයෝගීතාවය සහ අඛණ්ඩ හවුල්කාරිත්වය සුවිසල් මෙහෙවරක් වූ බවද Barista Coffee Lanka ආයතනය පෙන්වා දෙයි.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා Barista Coffee Lanka සමාගමේ ඉහළ කළමනාකාරීත්වය එක්ව සිටි අතර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉම්රාන් අක්බරලි මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ දිලු‍ප පතිරණ මහතා ද ඒ අතර විය. විශිෂ්ට නායකත්වය, මඟ පෙන්වීම සහ අඛණ්ඩ සහයෝගීතාවය තුලින් ආයතනික වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් ලබා දුන් දායකත්වය අති මහත්ය.

කිසිඳු වියදමකින් තොරව ඕනෑම අයෙකුට පහසුවෙන් ළඟා විය හැකි වෘත්තීය අවස්ථා නිර්මාණය කරදීම අරමුණු කරගත් මෙම සමස්ත පුහුණු වැඩසටහනම කිසිදු පාඨමාලා ගාස්තුවකින් තොරව සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනැමීම විශේෂත්වයකි. එමඟින් සිසුන්ට කිසිදු මූල්‍ය බාධාවකින් තොරව වෘත්තීය පුහුණුව සහ රජය පිළිගත් NVQ Level 4 ජාතික සුදුසුකම සෘජුවම ලබාගනිමින් සිය ජීවිතය ජය ගැනීමේ මාවත සකස් කර ගත හැකි වේ. Barista Coffee Lanka විසින් 100%ක ප්‍රායෝගික පුහුණුව සමඟින් සිසු සිසුවියන් වෙත පරිපූර්ණ පාඨමාලාවක් හැදැරීමේ අවස්ථාව උදා කර දෙමින් සාඩම්බර වෘත්තියක නියැලීමේ අවස්ථාව උදා කර දීම ජාතික වශයෙන් ඉටු කරන සුවිසල් කාර්යභාරයක් ලෙස ද පෙන්වා දිය හැකිය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව