Photo Caption 02 (LBN)

–සංචාරක කලාපයක් වන අම්බුළුවාව තුළ ප්‍රථම වරට වෙසක් කලාපයක් නම් කරයි–

තිස්වසරක් සපිරි අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණ පරිශ්‍රය තුල මෙවර වෙසක් පුන් පොහොය දිනය නිමිති කර ගනිමින් මැයි මස 29, 30, 31 තෙදින පුරා සුවිශේෂී වෙසක් කලාපයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, දිවයින පුරා විසිරී සිටින නිර්මාණකරුවන්ට සිය පහන්කූඩු නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව, බොදු නාට්‍ය, බැති ගී සහ විරිඳු ගායනා හා ළමා චිත්‍ර ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර, ඒ සඳහා සහභාගිවන්නන්ට මුදලින් වටිනා ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.



වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ අම්බුළුවාව ප්‍රවේශ දොරටුවේ සිට අම්බුළුවාව ගොවිජන කුළුන දක්වා ඇති කිලෝමීටර් තුනක මාර්ගය ආවරණය වන පරිදිය. මෙහි දී විදුලි බල්බ තිස්පන්දහසකින් ආලෝකමත්වන නිර්මාණාත්මක තොරණ, විශාල ප්‍රමාණයේ පහන් කුඩු ප්‍රදර්ශනයක් සහ අටපට්ටම් කුඩු 500ක් මෙම වෙසක් කලාපය වෙත පැමිණෙන බැතිමතුන්හට දැකබලා ගැනීමේ හැකිව පවතී. තෙදින පුරා බෞද්ධ නාට්‍ය රඟදැක්වීම, බොදු බැති ගී ගායනා, විරිඳු ගායනා මෙන්ම ළමා චිත්‍ර ප්‍රදර්ශනයක්ද සුදානම් කර තිබීම මෙහි විශේෂත්වයකි.

ලෝකවාසීන් සාමය අයදිමින් සිටින මොහොතක අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණය තුලින් සංචාරක ජනතාවට බුද්ධාලම්භන ප්‍රීතිය සමඟින් බුදු දහමේ ඉගැන්වෙන සාමය හා සමානාත්මතාවය ප්‍රායෝගිකව අත්විදීමට අවස්ථාව සැලසී තිබීමද විශේෂත්වයකි. අම්බුළුවාව වෙසක් කලාපයට ආශිර්වාද එක් කරමින්, ත්‍රෛයිනිකායික අනුනා හිමිවරුන්, ප්‍රදේශයේ මහ සංඝරත්නය, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ සතර මහ දේවාලවල නිළමේවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වනු ඇත. අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපයට පැමිණෙන සියලුම බැතිමතුන් වෙනුවෙන් බත්, අයිස්ක්‍රීම් සහ කෝපි දන්සැල් රැසක්ද තෙදින පුරා ක්‍රියාත්මක වේ.

අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපය සංවිධානය කිරීම පිළිබදව අදහස් දක්වමින් මහාවිහාරවංශික ශ්‍යාමෝපාලිමහනිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙිඬරුවෙි උපාලි නාහිමි පවසා සිටියේ “ලෝකය පුරා ජනතාව සාමය ඉල්ලා හඬ නඟන අවදියක තුන්ලෝකයටම සාමයේ නායකයානන් වු ගෞතම බුදු පියානන් ගේ ශ්‍රි  සද්ධර්මය අම්බුළුවාව සංචාරක කලාපයේ සිට ලෝපුරා බෙදා හරින්නට හැකි වීමම සතුටට කාරණයකි.”

අම්බුළුවාව තිස්වන සංවත්සරය නිමිත්තෙන් ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් ඉදිකිරිමට මුල් ගල් තැබීම, නියංගොඩ විජිතසිරි අනුනාහිමි නමින් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූල පුස්තකාලයක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබිම ඉකුත් අප්‍රේල් මාසයේ දී සිදු විය. තවද, සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පවත්වා, මහාවිහාර වංශික මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි අනුනාහිමිවරු හා ශ්‍රි  ලංකා අමරපුර මහ සංඝ සභාවේ උත්තරිතර මහ නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති මහනාහිමි, ශ්‍රි  ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක මකුලෑවේ විමල මහනාහිමි ඇතුළු මහ සංඝරත්නය විෂයෙහි දහවල් දානමය පිංකමක් පැවැත්වීමද එහි දී සිදු කරන ලදී.

1996, එවක රජයේ කෘෂිකර්ම ඉඩම් හා වනසම්පත් අමාත්‍ය දි.මු.ජයරත්නයන් ආරම්භ කළ ගම්පොළ අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථානය,  භූගෝලීය වශයෙන් මුහුදු මට්ටමේ සිට අඩි 3,765ක් පමණ උසින් පිහිටා ඇති අතර, හෙක්ටයාර 212ක භූමි ප්‍රමාණයක පැතිර පවතී. 2009 අංක 44 දරන පනත යටතේ අම්බුළුවාව පාලනය වන අතර, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ අදාළ රාජ්‍ය අමාත්‍යාංශවල නියෝජනය සහිතව මෙහි පාලන කටයුතු සිදු කෙරේ. අනුරාධ ජයරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාලක මණ්ඩලය යටතේ, 2019 සහ 2024 අතර කාලය තුළ ආදායම 21 ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, ප්‍රාග්ධන වත්කම් රුපියල් මිලියන 372 සිට රුපියල් බිලියන 1.4 දක්වා වර්ධනය වී ඇත.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව