
—විධිමත් ණය පහසුකම් සහ වගකීම් සහගත ණය දීම ශක්තිමත් කිරීමට වැදගත් පියවරක්—
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB), බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හතරක් සිය ජාලයට ඇතුළත් කර ගනිමින් දිවයිනේ ණය තොරතුරු පද්ධතිය සැලකිය යුතු ලෙස පුළුල් කර ඇති බව නිවේදනය කරන ලදී. මේ සම්බන්ධ රජයේ ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව මෙම ආයතන නිල වශයෙන් ජාතික ණය තොරතුරු පද්ධතියට එක් විය.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.ජී.පී. සිරිකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්ෂුද්‍ර මූල්‍ය දත්ත CRIB පද්ධතියට එක් කිරීම සනිටුහන් කෙරෙන විශේෂ උත්සවයක් පසුගිය දා පැවැත්විණි. මෙහි දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආර්.එම්.සී.එච්.කේ. ජයසිංහ මහත්මිය, CRIB අධ්යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා, ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති වසන්ත ගුණවර්ධන මහතා සහ අදාළ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, එම ආයතනවල සෙසු නිලධාරීන් සහ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ නිලධාරීන් ද මෙම උත්සවය සඳහා සහභාගී විය.
මෙම වැඩපිළිවෙළ, ක්ෂුද්‍ර මූල්‍ය අංශය තුළ ණය තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම, විශ්වසනීය ණය තොරතුරු වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසීම මෙන්ම, මූල්‍ය සේවා ප්‍රමාණවත් ලෙස නොලැබෙන පුද්ගලයින්ට සහ ව්‍යාපාරයන්ට විධිමත්ව ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කරමින් මූල්‍ය සේවා ව්‍යාප්තිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත මඟින් පැවරී ඇති බලතල ප්‍රකාරව, බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හතරක් නම් කරන ලද ණය දෙන ආයතන ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව නව ආයතන ලෙස බෙරෙන්ඩිනා මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට්ස් කම්පැනි ලිමිටඩ් (Berendina Micro Investments Company Limited), ලක් ජය මයික්‍රෝ ෆිනෑන්ස් ලිමිටඩ් (Lak Jaya Micro Finance Limited), දුම්බර මයික්‍රෝ ක්‍රෙඩිට් ලිමිටඩ් (Dumbara Micro Credit Limited) සහ සෙජය මයික්‍රෝ ක්‍රෙඩිට් ලිමිටඩ් (Sejaya Micro Credit Limited) ජාතික ණය තොරතුරු පද්ධතියට එක් වී තිබේ.
මෙම නියාමන ඇතුළත් කිරීම මඟින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන CRIB හි මධ්‍යගත ණය තොරතුරු යටිතල පහසුකම් සමඟ ඒකාබද්ධ වන අතර, ආරක්ෂිත හා මනාව පාලනය වන රාමුවක් තුළ ණය තොරතුරු සැපයීමට සහ ණයගැතියන්ගේ ණය පැතිකඩ නිරීක්ෂණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. දත්ත විනිවිදභාවය වැඩිදියුණු වීම සහ වඩාත් නිවැරදි ණය තීරණ ගැනීම තුළින්, මූල්‍ය සේවා ප්‍රමාණවත් ලෙස නොලැබෙන අඩු ආදායම්ලාභී සහ අවධානයට ලක් නොවූ පිරිස් වෙත සිය සේවා ව්‍යාප්ත කිරීමට මෙම ආයතනවලට හැකියාව ලැබේ. එමෙන්ම විශ්වසනීය ණය තොරතුරු මඟින් ණය අවදානම් ඇගයීම, අවදානම් කළමනාකරණය, යහපාලනය සහ වගකීම් සහගත ණය දීම ශක්තිමත් වන අතර, එය විධිමත් ණය සඳහා පුළුල් ප්‍රවේශයක් සලසමින් තිරසාර ආර්ථික සවිබල ගැන්වීමට දායක වනු ඇත.
උත්සව සභාව අමතමින් CRIB අධ්යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා සිය අදහස් දක්වමින්, “බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් CRIB පද්ධතියට විධිමත්ව එක් කිරීම, ශ්‍රී ලංකාවේ සැමට ප්‍රවේශ විය හැකි මූල්‍ය පද්ධතියක් ගොඩනැගීමේ තීරණාත්මක පියවරකි. ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට, කුඩා ව්‍යාපාරවලට සහ ග්‍රාමීය ආර්ථිකයට ක්ෂුද්‍ර මූල්‍ය අංශය ලබා දෙන්නේ විශාල සහායකි. මෙම ආයතන අපගේ ජාතික ණය තොරතුරු ජාලයට එක් කිරීමෙන්, ක්ෂුද්‍ර මට්ටමේ පවතින තොරතුරු හිඩැස් අවම කර වගකීම් සහගත ණය ලබා ගැනීම දිරිමත් කිරීමටත්, අවදානම පිළිබඳ වැඩි විශ්වාසයකින් ණය ලබා දීමට මූල්‍ය ආයතනවලට අවස්ථාව සැලසේ.” යැයි පවසා සිටියේය.
1995 අංක 8 සහ 2008 අංක 42 දරන පනත් මඟින් සංශෝධිත, 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ පිහිටුවන ලද CRIB, දකුණු ආසියානු කලාපයේ පළමු ණය තොරතුරු කාර්යාංශයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ මුලපිරීමක් වනමෙම කාර්යාංශය, සමස්ත ණය ලබාගන්නන්ගේ ණය තොරතුරු සුරක්ෂිතව පවත්වාගෙන යන ජාතික තොරතුරු ගබඩාව ලෙස ක්‍රියාත්මක වේ. එමෙන්ම වඩාත් කඩිනම් සහ සහනදායී ලෙස ණය පහසුකම් ලබා ගැනීමට මඟ පාදන අගය එකතු කළ සේවාවන් රැසක් සපයමින්, මෙරට සියලු පුරවැසියන්ගේ මූල්‍ය අන්තර්කරණය පුළුල් කිරීම සඳහා කැපවී ක්‍රියා කරයි.


