DFCC බැංකුව සහ Toyota Lanka එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නව TOYOTA මගී රථ වාහන සඳහා වසර 10ක උපරිම ගෙවීමේ කාල සීමාවක් සහිත ලීසිං පහසුකමක් හඳුන්වා දෙයි

PR - Masthead (LBN)

කොළඹ, ශ්‍රී ලංකාව: DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ Toyota වාහන සඳහා නිල නියෝජිතයා වන Toyota Lanka සමාගම හා එක්ව නව Toyota මගී රථ වාහන සඳහාම විශේෂිත වූ ලීසිං පහසුකමක් හඳුන්වා දී ඇත. මෙහිදී වසර 10 දක්වා පහසු ගෙවීම් කාලසීමාවක් සහ අවසාන වාරිකයේදී මුළු ණය මුදලින් 50% දක්වා ගෙවීමේ හැකියාව ගනුදෙනුකරුවන්ට හිමිවේ.

නව Toyota මගී රථ වාහන සඳහා ශ්‍රී ලංකාවේ හඳුන්වා දුන් ප්‍රථම වසර 10ක ලීසිං පහසුකම මෙය වන අතර, DFCC බැංකුව සහ Toyota Lanka සමාගම අතර මේ සඳහා අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම (MoU) මගින් මෙම සේවාව නිල වශයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

නව වාහනයක් මිලදී ගැනීමේදී මුහුණ දීමට සිදුවන මාසික මූල්‍ය පිරිවැය වඩාත් නම්‍යශීලී ලෙස කළමනාකරණය කරගැනීමට ගනුදෙනුකරුවන්ට සහාය වීම මෙම ලීසිං පහසුකමේ ප්‍රධාන අරමුණයි. අදාළ වන පොලී අනුපාතය, ලීසිං කාලසීමාව සහ නැවත ගෙවීමට ඇති ශේෂය මත පදනම්ව, වසර 5ක සාමාන්‍ය ලීසිං ක්‍රමයකට සාපේක්ෂව මෙම ක්‍රමයෙහි මාසික වාරිකය ආසන්න වශයෙන් 20% කින් පමණ අඩු කරගැනීමේ හැකියාව පවතී.




මෙහිදී ආපසු ගෙවීමට ඇති ශේෂයේ වටිනාකම ගණනය කරනු ලබන්නේ ලබාගන්නා මුළු ණය මුදලට සාපේක්ෂව වන අතර, එය මූලික ලීසිං කාලසීමාව අවසානයේ හිඟ මුදලක් ලෙස ගෙවිය යුතුවේ. එකවර විශාල මුදලක් ලෙස මෙම අවශේෂ වටිනාකම පියවීමට අදහස් නොකරන ගනුදෙනුකරුවන්ට, ඒ වෙනුවෙන් නැවත වසර 5 ක නව ලීසිං පහසුකමක් සඳහා අයදුම් කිරීමේ හැකියාව සලසා දී ඇත. කෙසේ වෙතත්, මෙම අතිරේක වසර 5 ලීසිං පහසුකම ස්වයංක්‍රීයව හිමිවන්නක් නොවන අතර, ඒ සඳහා වෙනම ණය ඇගයීමක්, අනුමැතියක් සහ එම අවස්ථාවේ පවතින ණය දීමේ කොන්දේසි අදාළ වේ.

මෙම සහකාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය:

“ගනුදෙනුකරුවන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ මාසික අයවැයට ගැලපෙන මෙන්ම ලීසිං කාලය අවසානයේ හිඟ මුදල පියවන්නේ කෙසේද යන්න පිළිබඳවද පැහැදිලි අවබෝධයක් ලබාදෙන ලීසිං විසඳුම්. දීර්ඝ කළ හැකි ලීසිං කාලසීමාවක්, අවශේෂ වටිනාකම් විකල්පයන් සහ පසුව නැවත ලීසිං පහසුකම් ලබාගත හැකි පැහැදිලි මගක් එකට එක්කිරීම මගින් ගනුදෙනුකරුවන්ට මෙම දෙඅංශයම නම්‍යශීලී ලෙස සැලසුම් කිරීමට අපි අවස්ථාව ලබා දී තිබෙනවා. ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවන්ට සැබැවින්ම ගැලපෙන ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීමට අප සතු කැපවීම මෙයින් මනාව පිළිඹිඹු වෙනවා.”

මෙම ලීසිං පහසුකම ප්‍රධාන වශයෙන් මාසික වේතන ලබන වෘත්තිකයන්, ස්වයං රැකියාවල නියුතු පුද්ගලයන්, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති අතර, අවසන් අනුමැතිය බැංකුවේ තක්සේරුකරණයට සහ සත්‍යාපනයට යටත් වේ. මාසික වාරිකය සැලකිය යුතු ලෙස අඩුවීම නිසා සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන්ට තම පවුලේ හෝ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් වෙන්කරන ප්‍රතිපාදනවලට බාධාවකින් තොරව නව වාහනයක හිමිකම ලබාගැනීමට මෙයින් මගපෑදේ.

Toyota Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරළ මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය:

“DFCC බැංකුව සමග ඇතිකරගත් මෙම අවබෝධතා ගිවිසුම හරහා, නව Toyota රථයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන්ට වඩාත් නම්‍යශීලී මූල්‍ය සැලසුමකට අවතීර්ණ වීමට හැකියාව ලැබෙනවා. මෙම ප්‍රායෝගික ලීසිං ක්‍රමය මෙන්ම, දිවයින පුරා පැතිරුණු අපගේ සේවා ජාලය, විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සහ විශ්වාසනීය නඩත්තු සහායද සමගින්, ගනුදෙනුකරුවන්ට ඉතා තෘප්තිමත් වාහන හිමිකාරීත්වයක අත්දැකීමක් ලබාදීමටත්, Toyota Lanka සමග ඔවුන් යන ගමන වඩාත් විශ්වාසයෙන් යුතුව ආරම්භ කිරීමටත් අපි කැපවී සිටිනවා.”

මෙම නව සේවාව මගින් DFCC බැංකුවේ ලීසිං ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ ශ්‍රී ලංකාවේ Toyota වාහන සඳහා වන නිල නියෝජිතයා ලෙස Toyota Lanka සමාගම සතු ප්‍රමුඛ ස්ථානය එක්තැන් කරමින් ආයතන දෙක අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් වන අතර, Toyota Lanka සමාගම මගින් සැපයෙන නිල අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවා සහාය හරහා වාහනයේ ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය සහ දීර්ඝකාලීන නැවත අලෙවි වටිනාකම අඛණ්ඩව සුරක්ෂිත වේ. තවද, මෙම ක්‍රමෝපායික සහකාරිත්වය හරහා ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන මූල්‍ය අවශ්‍යතාවන්ට සැබැවින්ම ගැලපෙන ලීසිං විසඳුම් පිරිනැමීමට DFCC බැංකුව කටයුතු කරන බැවින්, නව Toyota මගී රථයක හිමිකාරීත්වය ලබාගැනීමේ සිහිනය සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් සැබෑ කරගැනීමට මගපෑදේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව