එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික වෙනස්කම් වලට දිගු කාලීනව ඔරොත්තු දෙන වැවිලි ක්ෂේත්‍රයක් ගොඩ නැගීමට නම්…

The Planters Association of Ceylon

දැනට පවතින එල් නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගය බවට දේශගුණික ඔරොත්තුදීම පත්ව තිබේ.  ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දත්ත අනුව, එල් නිනෝ තත්ත්වයට සම්බන්ධ වියළි කාලගුණය හේතුවෙන් අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්ක හත තුළ පවුල් 25,563කට අයත් 81,000කට අධික ජනතාවක් බලපෑමට ලක්ව සිටිති. පවතින මෙම තත්වයට ප්‍රතිචාර දක්වමින් රජය එක් පුද්ගලයෙකුට දිනකට ලබාදෙන ජල ප්‍රමාණය ලීටර් 6 සිට 15 දක්වා ඉහළ නංවා ඇති අතර, ජල බවුසර් 324ක් යොදවා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 4.8ක් ද වෙන් කර තිබේ.




වියලි කාලගුණයෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක කිහිපයක්ම ප්‍රධාන වැවිලි කලාපවලට ආසන්නව පිහිටා තිබීම වැදගත් සංඥාවකි. එල්නිනෝව වතු සීමවකින් නොනවතී. රත්නපුර , ගාල්ල ආශ්‍රිත පහතරට තේ හා රබර් වගාවෙන් ආරම්භ වී මහනුවර මධ්‍යම කඳුකර වතු ප්‍රදේශ හරහා නුවරඑළිය සහ බදුල්ල උඩරට තේ වගාවන් දක්වා සියලු උස මට්ටම් එහි බලපෑමට නිරාවරණය වෙයි.

පහතරට වගා ප්‍රදේශවලට එහි බලපෑම වඩා ඉක්මනින් දැනෙන්නේ දිගුකාලීන උෂ්ණත්වය සහ පසෙහි තෙතමනය අඩුවීම නිසා සති කිහිපයක් ඇතුළතම අස්වැන්න පහළ යා හැකි බැවිනි. උඩරට තේ වගාව කෙටි කාලීන වියළි තත්ත්වයන්ට සාපේක්ෂව යම් ආරක්ෂාවක් ලබන නමුත්, එම ප්‍රදේශ වෙනත් ආකාරයක මන්දගාමී අවදානමකට මුහුණ දෙමින් සිටී. ඒ රාත්‍රී උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාමයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පෙන්වා දෙන්නේ, මහජන සංවාදයේදී බොහෝවිට පැහැදිලිව වෙන්කර නොදක්වන කරුණක් ඇති බවයි. “එල් නිනෝ දේශගුණික විපර්යාස නිසා ඇතිවූ තත්ත්වයක් නොවේ. එය වසර සිය ගණනක් පුරා සිදුවෙමින් පවතින ස්වාභාවික දේශගුණික ෙවනස්වීමකි. එහෙත් ඒ නිසා කෘෂිකාර්මික පද්ධතිවල ඔරොත්තුදීම ගොඩනැගීම අවශ්‍ය නොවන බවක් අදහස් නොවේ. එවැනි පියවර එල් නිනෝ වැනි දැඩි කාලගුණික තත්ත්වවල බලපෑම අවම කිරීමට සෘජුවම උපකාරී වේ.”

එවැනි ඔරොත්තුදීමක් ගොඩනැගීම කෙටි කාලීන ක්‍රියාවලියක් නොවේ. ශ්‍රී ලංකාවේ පළමු නියඟයට ඔරොත්තු දෙන තේ ප්‍රභේදය තේ පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දුන්නේ  2016 වසරේදීය. එය වසර ගණනාවක පර්යේෂණයක ප්‍රතිඵලයකි. “නව තේ ප්‍රභේදයක් සංවර්ධනය කිරීමට සාමාන්‍යයෙන් වසර 25ක් පමණ ගතවෙයි,” යැයි මහාචාර්ය මාරඹේ සඳහන් කරයි. ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කෙටි කාලීන අරමුදල් චක්‍රයන්ට සීමා නොවී වැවිලි පර්යේෂණ සඳහා දිගුකාලීන හා අඛණ්ඩ ආයෝජනයක් අවශ්‍ය බව අවධාරණය කරන්නේද මේ හේතුවෙනි.

එම දිගුකාලීන ප්‍රවේශය මේ වනවිට ක්ෂේත්‍ර මට්ටමින්ද දැකගත හැකිය. උඩපුස්සැල්ලාව වැවිලි සමාගම වර්තමාන නියඟ තත්ත්වයට ප්‍රතිචාර දක්වා ඇත්තේ එක් පියවරකට සීමා වූ විසඳුමකින් නොව, ඒකාබද්ධ ක්ෂේත්‍ර වැඩසටහනක් මගිනි. තේ පඳුරු තෙතමන ආතතියෙන් ආරක්ෂා කිරීම සඳහා මව් තේ දළු නෙළීම අනිවාර්ය කර ඇති අතර, පත්‍ර මත යොදන ජෛව පොහොර භාවිතය තීව්‍ර කර තිබේ. දැඩි ලෙස බලපෑමට ලක්වූ වගා කුඹුරු වෙත ජලය හැරවීමද ඒ සමඟ සිදු කර ඇත.

ඊට අමතරව සෙවන ආවරණය ශක්තිමත් කර ඇති අතර, පත්‍රවල ඇති ස්ටෝමා හරහා සිදුවන ජල හානිය පාලනය කිරීමට පොටෑසියම් යොදවා තිබේ. වියළි කාලසීමාව පැමිණීමට පෙර කාණු සකස් කර මුල් පද්ධතිය අතර තෙතමනය රඳවා ගැනීමට පියවර ගෙන ඇත. වතු ගොඩනැගිලිවල සූර්ය බල පද්ධතිද ස්ථාපනය කර ඇති අතර, එමඟින් ජලවිදුලි බලය මත  වන පීඩනය අඩු කර, රඳවාගත් ජලය පානීය ජල සැපයුම හා වාරිමාර්ග සඳහා පහළ ප්‍රදේශවලට නිකුත් කිරීමට වැඩි ඉඩක් හිමි වනු ඇත.

බ්‍රවුන්ස් වැවිලි සමාගමේ මතුරට කලාපයේ වතු ආශ්‍රිතව දේශගුණික ඔරොත්තු දීම ජල කළමනාකරණය, පස සංරක්ෂණය සහ ආපදා සූදානම යන අංශ එකට සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කර තිබේ. නව වගා බිම් සහ පැළ තවාන් සඳහා ජල බවුසර් හා ස්ප්‍රින්ක්ලර් පද්ධති යොදවා ඇති අතර, තරුණ තේ වගාවන්හි පසෙහි තෙතමනය රඳවා ගැනීම සඳහා ආවරණ යෙදීම සිදු කරයි.

වියළි කාලය තුළ ශාඛයන්හි යථා පැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් සෙවන ගස් කප්පාදුව සහ තේ පඳුරු කප්පාදුව තාවකාලිකව නවතා තිබේ. එමෙන්ම වියළි තත්ත්වයට කඩිනම් කෘෂි විද්‍යාත්මක ප්‍රතිචාරයක් ලෙස පත්‍ර මත පොටෑසියම් යෙදීමද ක්‍රියාත්මක කර ඇත.

ආපදා අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර තිබේ. අවදානම් නිවාස සහ නායයෑම් තර්ජනය ඇති ස්ථාන නිරන්තරයෙන් නිරීක්ෂණය කරන අතර, ඒවා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව ඇගයීමට ලක් කරයි. අවශ්‍ය අවස්ථාවලදී අදාළ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත නැවත පදිංචි කිරීමේ සැලසුම්ද සකස් කර තිබේ.

කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම තවත් දිගුකාලීන ප්‍රවේශයක් අනුගමනය කරමින්, දේශගුණික ඔරොත්තුදීම එක් නියඟයකට හෝ එක් ආපදා අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස නොව, වසර ගණනාවකට පෙර සිටම ගොඩනැඟිය යුතු පද්ධතියක් ලෙස සලකා සිය සැලසුම් ක්‍රියාවට නංවා ඇත.

හල්ගොල්ල වත්තේ ක්‍රියාත්මක කෘෂි වන වගා නියමු ව්‍යාපෘතිය ඒ සඳහා උදාහරණයකි. ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර විද්‍යාඥයන් සමඟ එක්ව සංවර්ධනය කර ඇති මෙම ක්‍රමය, බහු ස්ථර වෘක්ෂලතා ආවරණයක් හරහා පස සංරක්ෂණය, ජලය රඳවා ගැනීම සහ අමතර ආදායම් මාර්ග නිර්මාණය යන අරමුණු එකවර ඉටු කිරීමට සැලසුම් කර ඇත. මේ වනවිට එම ආකෘතිය වෙනත් වැවිලි ක්ෂේත්‍රයන් වෙතද ව්‍යාප්ත කෙරෙමින් පවතී.

පස හා ජලය සංරක්ෂණය සඳහා සෝක් පිට්, වැවිලි වගා භූමිය තුළම ජල තටාක සහ දේශීය ගස් වගා කිරීම වැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් වැසි ජලය පස තුළට අවශෝෂණය වීම වැඩි කිරීමට අරමුණු කරයි. සමාගමේ ‘සුරකිමු ගඟ’ වැඩසටහන යටතේ කැලණි ගංගා ද්‍රෝණියේ දේශීය ශාක 10,000කට අධික සංඛ්‍යාවක් රෝපණය කර ඇති අතර, ඒවායේ පැවැත්මේ ප්‍රතිශතය 99% කට වඩා ඉහළ බව සමාගම සඳහන් කරයි.

කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් සමාගම ලොව ප්‍රථම regenagri සහතිකය ලැබූ වැවිලි සමාගම බවටත්, හලගොල්ල වතුයාය එම සහතිකය හිමි ලොව ප්‍රථම තේ වගා භූමිය බවටත් පත්ව තිබේ. මෙම වැඩපිළිවෙළට පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නෙදර්ලන්තයේ Wageningen විශ්වවිද්‍යාලය සහ IUCN Sri Lanka සමඟ වසර ගණනාවක් පුරා පවත්වාගෙන ගිය පර්යේෂණ සහයෝගීතාද පදනම් වී ඇත.

හේලීස් වැවිලි අංශයට අයත් හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම, තාක්ෂණය භාවිතයෙන් දේශගුණික අවදානම් සහ වගා කළමනාකරණය අතර පවතින හිඩැස පුරවන්නේ කෙසේද යන්න පෙන්වා දෙන තවත් උදාහරණයකි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සමඟ එක්ව ස්ථාපිත කර ඇති කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන මගින් උෂ්ණත්වය, වර්ෂාපතනය සහ පසෙහි තෙතමනය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලබාදෙන අතර, ඩ්‍රෝන් තාක්ෂණය භාවිතයෙන් පෝෂක හිඟතා සහ පළිබෝධ ගැටලු හඳුනා ගැනීම සිදු කරයි. කෝපි වගාවේ ජලය හා පොහොර එකවර කාර්යක්ෂමව ලබාදෙන ස්මාර්ට් ෆර්ටිගේෂන් ක්‍රම භාවිතයෙන් ජල අපතේ යාමද අඩු කර තිබේ.

සූර්ය බල පද්ධති සහ කුඩා ජල විදුලි බලාගාර මගින් පසුගිය වසරේ මෙගාවොට් පැය 1,243ක විදුලි බලයක් නිපදවා ඇති අතර, තේ ආවරණ වගා කාබන් ව්‍යාපෘතිය ‘Tea Shade Carbon Project’ සහ තහවුරු කරන ලද කාබන් ප්‍රමිතීන් Verified Carbon Standard යටතේ ලියාපදිංචි වූ ශ්‍රී ලංකාවේ පළමු වැවිලි ක්ෂේත්‍ර කාබන් ව්‍යාපෘතිය ලෙසද සැලකේ.

මෙම සියලු උදාහරණ එකට ගත් විට පෙනී යන්නේ, ප්‍රතිපත්ති හා රාජ්‍ය රාමුව බිම් මට්ටමට ළඟා වන තෙක් බලා නොසිට වැවිලි ක්ෂේත්‍රය තමන්ගේම මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බවයි. කලාපීය වැවිලි සමාගම් පර්යේෂණ හවුල්කාරිත්ව ගොඩනඟාගැනීම, නිරීක්ෂණ තාක්ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කර, දේශගුණික අවදානම් සැලසුම් දෛනික වැවිලි කළමනාකරණයේ කොටසක් බවට පත් කර තිබේ. බොහෝ අවස්ථාවලදී මෙවැනි පියවර ජාතික ප්‍රතිපත්ති රාමු බිම් මට්ටමට ළඟා වීමට වසර ගණනාවකට පෙර ආරම්භ කර තිබීමද විශේෂත්වයකි.

මහාචාර්ය බුද්ධි මාරඹේ අවධාරණය කරන පරිදි, ආර්ථික යථාර්ථය සමඟ සම්බන්ධ අඛණ්ඩ ධාරිතා සංවර්ධනය මෙහි මූලික කොටසකි. “සැබෑ ආර්ථික අවදානම ජනතාවට පැහැදිලි වූ විට ඔවුන් ප්‍රතිචාර දක්වනවා. සෑම වැවිලි බෝගයක්ම විදේශ විනිමය උපයන අපනයන බෝගයක්,” යැයි ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.

එල් නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා වතු සමාගම් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ගෙන් පැහැදිලි වන්නේ දේශගුණික ඔරොත්තුදීම තවදුරටත් පරිසර කළමනාකරණයට පමණක් සීමා වූ කරුණක් නොව, වැවිලි ව්‍යාපාරවල මූලික ව්‍යාපාරික උපායමාර්ගයක් බවට පත්ව ඇති බවයි. එම ක්‍රියාමාර්ග තවදුරටත් පුළුල් කිරීමට රජයේ සහ අදාළ ආයතනවල වැඩි සහාය අවශ්‍ය බවට මෙය ප්‍රබල සාධකයක් ද සපයන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර මහතා පැවසීය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව