අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සනිටුහන් කරමින් කොටස් වෙළෙඳපොළ විවෘත කිරීමේ සීනුව නාද කරයි

Picture1

අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පසුගියදා කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ සීනුව නාද කළේය. අමානා බැංකුව යනු ශ්‍රී ලංකාවේ පොලිය මත පදනම් වූ බැංකු ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම බැහැරව ක්‍රියාත්මක වන එකම බැංකුවයි.

2011 වසරේදී ආරම්භ වූ අමානා බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි ස්වාධීන බැංකුවක් වන අතර, එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇත. සෞදි අරාබියේ ජෙඩා නුවර මූලස්ථානය කරගත් IsDB සමූහය අමානා බැංකුවේ ප්‍රධාන කොටස් හිමිකරු වේ. IsDB සමූහය යනු රාජ්‍යයන් කිහිපයක් එක්ව පිහිටුවාගන්නා ලද, රටවල් 57 ක් සාමාජිකත්වය දරන, ‘AAA’ ණය ශ්‍රේණිගත කිරීමක් සහිත අන්තර්ජාතික බහුපාර්ශ්වික සංවර්ධන මූල්‍ය ආයතනයකි.




මේ වන විට අමානා බැංකුවේ ශාඛා සහ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන 80 කට අධික සංඛ්‍යාවක් රට පුරා පිහිටුවා ඇති අතර, එහි පාරිභෝගික පදනම වේගයෙන් පුළුල් වෙමින් පවතී. ප්‍රධාන වශයෙන් පාරිභෝගික බැංකුකරණය, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකුකරණය සහ සංවර්ධන බැංකුකරණය කෙරෙහි අවධානය යොමු කරන අමානා බැංකුව, තෝරාගත් ප්‍රවේශයක් ඔස්සේ සමාගම් හා ආයතන සඳහාද සේවාවන් සපයයි.  බැංකුවේ වත්කම් මත පදනම් වූ මූල්‍යකරණ ආකෘතිය (Asset-backed banking model) මඟින් ආර්ථිකයේ ඵලදායී ක්ෂේත්‍ර වෙත අඛණ්ඩව මූල්‍ය පහසුකම් සපයනු ලබන අතර, එමඟින් බැංකුවේ වටිනාකම් සහ ප්‍රතිපත්තිවලට අනුකූලව ව්‍යවසායකයින්, පවුල් සහ ව්‍යාපාර සඳහා මූල්‍ය සහය ලබාදීම සිදු වේ.

ප්‍රධාන දේශකයා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ අදහස් දැක්වීය:

“මේ ආකාරයට සංකේතාත්මකව සීනුව නාදකිරීම තුළින් අමානා බැංකුවේ 15 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළ අප වෙත අවස්ථාව ලබාදීම අපට මහත් ගෞරවයක්. මෙය පසුගිය වසර 15 පුරා සංවර්ධනය කේන්ද්‍ර කරගත් මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශයක් තුළින් සංවර්ධනයට අත්වැලක් සපයමින් ජීවිත ඉසුරුමත් කිරීම සඳහා අප දැරූ උත්සාහයට ලැබුණු ඇගයීමක් ලෙස අප දකිනවා. ඉදිරියේදී අපගේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරමින්, ගනුදෙනුකරුවන්ගේ, ප්‍රජාවන්ගේ සහ ආර්ථිකයේ ප්‍රගතිය උදෙසා දිගින් දිගටම දායක වීමට අප සූදානම්.”

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතාද මෙහිදී අදහස් දැක්වීය:

“මෙම අවස්ථාව අප වෙත ලබාදීම පිළිබඳව අප කොළඹ වෙළඳපොළට ස්තූතිවන්ත වනවා. මෙය හුදෙක් සංවත්සර සැමරුමක් පමණක් නොව, ලැයිස්තුගත මූල්‍ය ආයතනයක් ලෙස අමානා බැංකුව පැමිණ ඇති දුර පිළිබඳව ආපසු හැරී බැලීමටත්, නව විශ්වාසයකින් යුතුව අපගේ ගමනේ මීළඟ පරිච්ඡේදය වෙත පිවිසීමටත් ලැබුණු අනගි අවස්ථාවක්. ඉදිරියේදී අමානා බැංකුව තවදුරටත් ශක්තිමත් කරමින් අපගේ කොටස් හිමියන් සඳහා තිරසාර ප්‍රතිලාභ පිරිනැමීමටත්, රටේ ආර්ථික සංවර්ධනයට අඛණ්ඩව දායක වීමටත්, ‘සංවර්ධනය කේන්ද්‍ර කරගත්, මානුෂ හිතවාදී බැංකුකරණය’ යන අපගේ ප්‍රතිඥාව දිගින් දිගටම ඉටුකිරීමටත් අප කැප වී සිටිනවා.”

මෙම අවස්ථාවට එක් වූ කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන නියාමන නිලධාරිනී නිලූපා පෙරේරා මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය:

“මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙනුවෙන් අමානා බැංකුවට අපගේ උණුසුම් සුබපැතුම් මෙසේ පිරිනමනවා. පැහැදිලි දැක්මක් තුළින් පන්නරය ලබමින් ඉදිරියේදී තම සාධනීය බලපෑම තවදුරටත් පුළුල් කිරීමට අමානා බැංකුවට හැකියාව ලැබේවි.”

අමානා බැංකුව ආරම්භයේ සිට මේ දක්වා දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ආරම්භක අවධියේදී ඇමරිකා එක්සත් ජනපදයේ Global Finance Magazine විසින් ‘විශිෂ්ටතම නැඟී එන ඉස්ලාමීය බැංකුව’ ලෙස නම් කරනු ලැබීම, The Asian Banker විසින් ‘ලොව ශක්තිමත්ම ඉස්ලාමීය බැංකු 50’ අතරට නම්කරනු ලැබීම සහ Islamic Development Bank Group විසින් ‘ICD ආයෝජන හිමි සමාගම් අතර වඩාත්ම බලපෑම් සහගත සමාගම’ ලෙස ඇගයීමට ලක්කිරීම ඒ අතරින් කිහිපයකි..

කොළඹ කොටස් වෙළඳපොළ මේ වන විට Sukuk ඇතුළුව ප්‍රාග්ධන වෙළෙඳපොළ විසඳුම් රැසක් හඳුන්වා දී තිබේ.  ශ්‍රී ලංකාවේ පළමු ලැයිස්තුගත Sukuk නිකුතුව 2025 වසරේදී සිදුකරන ලදි.

අමානා බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රයන්ට ලබා දුන් දීර්ඝකාලීන දායකත්වය සැමරීමක් වශයෙන් සිදුකරන ලද මෙම සංකේතාත්මක සීනුව නාද කිරීමේ අවස්ථාවට අමානා බැංකුවේ සහ කොළඹ කොටස් වෙළඳපොළේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව