
ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) මගින් සංවිධානය කරන ලද 4 වන ICC නැඟීඑන ආසියානු බැංකු සමුළුව සහ සම්මාන උළෙල – 2026 (4th ICC Emerging Asia Banking Conclave & Awards 2026) හිදී, DFCC බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් හිමිවන ප්‍රධානතම සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා ඇත. ඒ අනුව, “ශ්‍රී ලංකාවේ වර්ධනය වෙනුවෙන් ඉහළම කාර්යසාධනය” (Best Performance on Growth – Sri Lanka) සහ “ශ්‍රී ලංකාවේ ලාභදායීත්වය වෙනුවෙන් ඉහළම කාර්යසාධනය” (Best Performance on Profitability – Sri Lanka) යන සම්මාන DFCC බැංකුව වෙත හිමි විය.
ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) මගින් සංවිධානය කරනු ලබන මෙම කලාපීය සම්මාන උළෙල, නැඟීඑන ආසියානු වෙළඳපොළවල් තුළ ක්‍රියාත්මක වන මූල්‍ය ආයතනයන්හි සුවිශේෂී කාර්යසාධනය ඇගයීම උදෙසා පවත්වනු ලබන්නකි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති සම්මාන උළෙලේදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. ජී. පී. සිරිකුමාර මහතා අතින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ විදේශීය බැංකුකරණ සේවා හා මුදල් ප්‍රේෂණ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ඇන්ටන් අරුමුගම් මහතා වෙත මෙම සම්මාන පිරිනමන ලදී.
මූල්‍ය ප්‍රතිලාභ ඉහළ නංවා ගනිමින් සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට DFCC බැංකුව දක්වා ඇති සුවිශේෂී හැකියාව මෙම සම්මාන ද්විත්වය මගින් මනාව පිළිඹිබු වේ. ගනුදෙනුකාර සබඳතා තහවුරු කරමින්, ශේෂ පත්‍රය විධිමත්ව කළමනාකරණය කරමින් සහ අනාගත කාර්යසාධනය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතාවන් වෙනුවෙන් ආයෝජනය කරමින්, බැංකුව අනුගමනය කළ විනයගරුක වර්ධනීය වැඩපිළිවෙල මෙම ඇගයීමට පදනම් වී ඇත.
මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය: “වර්ධනය යන්න අර්ථවත් වන්නේ එය ව්‍යාපාරය ශක්තිමත් කරමින් ගනුදෙනුකරුවන් වෙත වඩාත් විශිෂ්ට සේවාවක් සැපයීමට අවශ්‍ය ශක්‍යතාව ගොඩනඟන්නේ නම් පමණි. එමෙන්ම, අපගේ මානව සම්පත, තාක්ෂණය සහ ගනුදෙනුකාර අත්දැකීම් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමට මග පාදන බැවින් ලාභදායීත්වය ද ඉතා වැදගත් වේ. එබැවින් මෙම ක්ෂේත්‍ර ද්විත්වයෙන්ම ඇගයීමට ලක්වීම සුවිශේෂී ජයග්‍රහණයකි. අපගේ කණ්ඩායම් ඉතා විනයගරුක ලෙස වර්ධනය හඹා යමින්, අවදානම් කළමනාකරණය කරමින් මෙන්ම උදාවන අවස්ථාවන් වඩාත් ප්‍රබල කාර්යසාධනයක් බවට පරිවර්තනය කර ඇති බව මෙයින් තහවුරු වේ. අපගේ වගකීම වන්නේ දැන් එම කැපවීමම පෙරදැරිව මෙම ප්‍රගතිය ඔස්සේ තවදුරටත් ඉදිරියටම ගමන් කිරීමයි.”
මූල්‍ය විනය, මෙහෙයුම් නම්‍යශීලීභාවය සහ තිරසාර ප්‍රතිලාභ කෙරෙහි මනා අවධානයක් යොමු කරමින් DFCC බැංකුව සිය ව්‍යාපාරික කටයුතු සාර්ථක ලෙස පුළුල් කළ කාලපරිච්ඡේදයකට පසුව මෙම විශිෂ්ට ඇගයීම හිමිව තිබීම විශේෂත්වයකි.


