Sysco LABS ප්‍රථම වරට පැවැත්වෙන Next XV Rugby League තරගාවලිය සඳහා Kandy Tuskers සමඟ අත්වැල් බැඳගනී

Image - Kandy Tuskers x Sysco (LBN)

අනාගත පරපුරේ දක්ෂතා හඳුනාගැනීම, කාර්යසාධනය වැඩිදියුණු කිරීම සහ තරුණ ක්‍රීඩකයන්ට ඉදිරියට යාමට අවස්ථාව උදා කර දීම අරමුණු කරගත් හවුල්කාරීත්වයක්

ප්‍රථම වරට පැවැත්වෙන Next XV Rugby League තරගාවලිය සඳහා Kandy Tuskers කණ්ඩායම සමඟ අත්වැල් බැඳගැනීමට Sysco LABS පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ නව පරපුරේ රග්බි ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීම, එම දක්ෂතා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදාකර දීම මෙහි ප්‍රධානතම අරමුණු වේ.

ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් ආරම්භ කරන ලද Next XV තරගාවලියට Kandy Tuskers, Colombo Aces, Galle Lions සහ Jaffna Bulls යන කණ්ඩායම් හතර යටතේ රටේ ප්‍රමුඛ පෙළේ වයස අවුරුදු 19 න් පහළ රග්බි ක්‍රීඩකයන් 140 දෙනෙක් සහභාගී වෙති. පාසල් රග්බි ක්‍රීඩකයන්ට ජාතික මට්ටමට පිවිසීම සඳහා වඩාත් පහසු මාවතක් නිර්මාණය කිරීම මෙහි එක් ප්‍රධානතම ඉලක්කයක් වන අතර, මෙමඟින් නැගී එන යොවුන් ක්‍රීඩකයන්ට තම ක්‍රීඩා දක්ෂතාවය වැඩිදියුණු කරගනිමින් ජාතික තලයට එක්වීමට අවශ්‍ය දිරිගැන්වීම ලැබෙනු ඇත.




නව පරපුරේ දක්ෂතා හඳුනාගනිමින්, එම දක්ෂතා තවදුරටත් දියුණු කරගැනීමට අවශ්‍ය අත්වැල සැපයීමේ වැදගත්කම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය දරන පොදු අදහස්, Sysco LABS සහ Kandy Tuskers අතර මෙම හවුල්කාරීත්වයේ පදනම වී තිබේ.

Sysco Corporation හි ගෝලීය නවෝත්පාදන මධ්‍යස්ථානය (Global Innovation Center) ලෙස ක්‍රියාත්මක වන Sysco LABS තුළදී, ඉහළ කාර්යසාධනය, අඛණ්ඩ සංවර්ධනය සහ නවෝත්පාදනය යනාදිය සාර්ථකත්වයට බලපාන මූලික සාධක ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ තාක්ෂණික වෘත්තිකයන්ගේ දියුණුව වෙනුවෙන් Sysco LABS දිගින් දිගටම ආයෝජනය කර ඇති අතර, තරුණ පරපුරට ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගැනීමට, තම හැකියාවන් වැඩිදියුණු කරගැනීමට සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ සාර්ථක වෘත්තීය ජීවිත ගොඩනංවා ගැනීමට අවස්ථා රාශියක් උදා කර දී තිබේ.

මෙම සාර්ථකත්වයේ සාධක Next XV තරගාවලියටද පදනම් වී ඇත. පාසල් අධ්‍යාපනයෙන් පසු දක්ෂ තරුණ රග්බි ක්‍රීඩකයන්ට ඉදිරියට යාම සඳහා පැහැදිලි මාවතක් නිර්මාණය කිරීම මෙම තරගාවලියේ අරමුණ වන අතර, ක්‍රීඩකයන්ගේ දක්ෂතාව, විනය, කැපවීම, ශාරීරික යෝග්‍යතාව සහ කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන දායකත්වය මත ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය වනු ඇත. Kandy Tuskers කණ්ඩායම සමඟ අත්වැල් බැඳගැනීම හුදෙක් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් ගනු ලබන පියවරක් පමණක් නොව, ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගැනීම, ඔවුන් වෙනුවෙන් අවස්ථා නිර්මාණය කිරීම සහ මීළඟ පරපුරට ඉහළම මට්ටමින් තරග කිරීමට හැකියාව ලබාදීම යන ඉලක්ක මූලික කරගත් පුළුල් ක්‍රියාවලියකට දායක වීමක් බව Sysco LABS විශ්වාස කරයි..

මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් Sysco LABS හි අධ්‍යක්ෂ (සන්නාමය හා සන්නිවේදන) ජියන් ද රෝස් මහතා මෙසේ පැවසීය:

“Next XV තරගාවලියේ ඉලක්ක සහ Sysco LABS හි විශ්වාසයන් අතර පැහැදිලි සමානත්වයක් තිබෙනවා. ඕනෑම කෙනෙකු තුළ දක්ෂතා තිබිය හැකි නමුත්, එම දක්ෂතා විශිෂ්ටත්වයක් දක්වා වැඩිදියුණු වීමට නම් නිසි අවස්ථා, නිසි පසුබිමක් සහ ඉදිරියට යාම සඳහා පැහැදිලි මාවතක් අවශ්‍යයි. දක්ෂතාව සහ උනන්දුව ඇති යොවුන් ක්‍රීඩකයන්ට, රටේ විශිෂ්ටතමයන් සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දීම සඳහා අප මෙලෙස Kandy Tuskers සමඟ අත්වැල් බැඳගැනීමට තීරණය කළා. රග්බි යනු ඉහළ කාර්යසාධනයක් සහිත කණ්ඩායම් තුළ අනිවාර්යයෙන්ම තිබිණ යුතු බවට අප විශ්වාස ගුණාංග රැසක් නිරූපණය කරන ක්‍රීඩාවක්. සහයෝගීතාව, ඔරොත්තු දීමේ හැකියාව, විනය, ක්‍රමෝපායික චින්තනය සහ සාමූහිකත්වය ඒ අතරින් ප්‍රධානයි. ආරම්භයේ සිටම Tuskers කණ්ඩායමේ ඉදිරි ගමනේ කොටස්කරුවෙකු වීමටත්, Next XV තරගාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අනාගතය වඩාත් යහපත් කිරීමට දායක වීමටත් අප බලාපොරොත්තු වෙනවා.”

මෙම තරගාවලිය ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් සිදුකරන පුළුල් ආයෝජනයක් ලෙසද හැඳින්විය හැක. පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසුව දක්ෂ දක්ෂ ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් ඉවත්වීමේ ප්‍රවණතාවට පිළියමක් ලෙස, ඉහළ කාර්යසාධන මට්ටමේ රග්බි ක්‍රීඩාව වෙත පිවිසීමට ක්‍රමානුකූල මාවතක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනේ එක් ප්‍රධානතම ඉලක්කයකි. මේ යටතේ ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයේ වයස අවුරුදු 19 න් පහළ ඉහළ කාර්යසාධන වැඩසටහනට (Under-19 High-Performance Program) එක්වීමට අවස්ථාව හිමි වනු ඇත.

Sysco LABS සහ Kandy Tuskers අතර පවතින මෙම හවුල්කාරීත්වය ක්‍රීඩා ක්ෂේත්‍රයට පමණක් සීමා නොවේ. ක්‍රීඩාව, තාක්ෂණය සහ කුසලතා සංවර්ධනය යන පැතිමානයන් එකිනෙක සම්බන්ධ කරමින්, ඉහළම තලයේ දක්ෂතා දැක්වීමට අවශ්‍ය ආකල්ප නිර්මාණය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී විශාල අවධානයක් යොමු වනු ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් Kandy Tuskers කණ්ඩායමේ සම හිමිකරු තරංග ගුණසේකර මහතා මෙසේ පැවසීය:

“ප්‍රථම වරට Next XV Rugby League තරගාවලියේ කොටස්කරුවෙකු වීමට මෙන්ම රග්බි ක්‍රීඩාව නව ෆ්‍රැන්චයිස් යුගයකට රැගෙන යාමට දායක වීමට හැකි වීම අපට මහත් සතුටක්. මහනුවරින් බිහි වූ අත්දැකීම් බහුල හිටපු රග්බි ක්‍රීඩකයන් පිරිසකගේ නායකත්වය යටතේ, මහනුවර කීර්තිමත් රග්බි උරුමයට ගරු කරමින්, වටිනාකම්, දක්ෂතා සහ අභිමානය මත පදනම් වූ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැංවීම Tuskers කණ්ඩායමේ අරමුණයි. සම්මානලාභී පුහුණුකරු ෆසිල් මරිජා මහතාගේ නායකත්වයෙන් යුත් වෘත්තීය මට්ටමේ පුහුණු කාර්ය මණ්ඩලයක මඟපෙන්වීම යටතේ, ක්‍රීඩකයන්ට තම උපරිම දක්ෂතා ළඟා කරගැනීමටත්, දිනයක ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටත් හැකියාව ලැබෙන පසුබිමක් සකස් කිරීම අපගේ අරමුණයි. ඉදිරි වසර තුන සඳහා අපගේ ක්‍රමෝපායික හවුල්කරු ලෙස Sysco LABS සම්බන්ධ වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ලෝ ප්‍රකට තාක්ෂණික සමාගමක් වන Sysco LABS ආයතනය ද, එහි පුද්ගලයන්, කාර්යසාධනය සහ වටිනාකම් සම්බන්ධයෙන් අපට සමාන විශ්වාසයන් දරන ආයතනයක් ලෙස හැඳින්වීමට පුළුවන්.”

සමාරම්භක Next XV තරගාවලිය 2026 සැප්තැම්බර් 19 දින ආරම්භ වන අතර, ශ්‍රී ලංකාවේ නැගී එන යොවුන් විශිෂ්ට රග්බි ක්‍රීඩකයන් රැසක් එහිදී තරග බිමට පිවිසීමට නියමිතය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව