ගෝලීය ඩිජිටල් තරඟකාරීත්වය හඳුනාගැනීමට SLIIT වෙතින් නවතම පර්යේෂණයක්

SLIIT image

කොළඹ, ශ්‍රී ලංකාව රටවල් සතු ඩිජිටල් සූදානම්භාවය (digital readiness) සහ තරඟකාරීත්වය මැනීම සඳහා නව දර්ශකයක් හඳුන්වා දෙමින්, ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ගෝලීය පර්යේෂණ ක්ෂේත්‍රයට සිය දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට SLIIT ව්‍යාපාරික පාසල සමත්ව තිබේ.

“Digitalisation Dynamics: Developing a Global Index for Digital Pioneers, Adapters, and Followers” (ඩිජිටල්කරණයේ ගතිකතාවන්: ඩිජිටල් පුරෝගාමීන්, අනුගතවන්නන් සහ අනුගාමිකයින් උදෙසා ගෝලීය දර්ශකයක් සංවර්ධනය කිරීම) මැයෙන් යුත් මෙම ජාත්‍යන්තර අධ්‍යයනය, SLIIT ව්‍යාපාරික පාසලේ මහාචාර්ය රුවන් ජයතිලක මහතාගේ මඟපෙන්වීම යටතේ එම පාසලේම උපාධි අපේක්ෂක පර්යේෂකයන් වන උෂාන් කුමාර සහ ඩිලාන් විජේරත්න යන මහත්වරුන් විසින් සිදුකරන ලද්දකි. මෙම පර්යේෂණ පත්‍රිකාව, අදාළ විෂය ක්ෂේත්‍රයේ Scopus දත්ත සමුදායෙහි දර්ශකගත ඉහළම 1% සඟරා අතර ශ්‍රේණිගත වී ඇති, ලොව පිළිගත් විද්‍යාත්මක සඟරාවක් වන Journal of Open Innovation: Technology, Market, and Complexity හි ප්‍රකාශයට පත් කර ඇත.




2010 සිට 2022 දක්වා කාලය තුළ රටවල් 71ක් ආවරණය කරමින් සිදු කරන ලද මෙම පර්යේෂණයේදී, අන්තර්ජාල පරිහරණය, ජංගම දුරකථන සම්බන්ධතාවය, බ්‍රෝඩ්බෑන්ඩ් ව්‍යාප්තිය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අපනයන, පර්යේෂණ හා සංවර්ධන ආයෝජන, පේටන්ට් බලපත්‍ර ක්‍රියාකාරකම්, සයිබර් ආරක්ෂණ පද්ධති, ඩිජිටල් යටිතල පහසුකම් සහ නවෝත්පාදන ධාරිතාව ඇතුළු දර්ශක කිහිපයක් භාවිත කරමින් මෙම ඩිජිටල්කරණ දර්ශකය සකස් කර ඇත. මෙම මිනුම්දඬු මත පදනම්ව, ලොව රටවල් ‘ඩිජිටල් පුරෝගාමීන්’, ‘ඩිජිටල් අනුගතවන්නන්’ සහ ‘ඩිජිටල් අනුගාමිකයින්’ ලෙස වර්ගීකරණය කර තිබේ.

ඩිජිටල් තරඟකාරීත්වය තීරණය වන්නේ හුදෙක් තාක්ෂණය වැළඳගැනීමෙන් පමණක් නොවන බව මෙම පර්යේෂණය මඟින් පෙන්වා දෙයි. එය නවෝත්පාදන, මානව ප්‍රාග්ධනය, සයිබර් ආරක්ෂණය, පර්යේෂණ ආයෝජන, ආයතනික සූදානම්භාවය සහ දිගුකාලීන ප්‍රතිපත්තිමය මඟපෙන්වීම් ඇතුළත් පුළුල් පද්ධතියක් මත රඳා පවතී. මෙම සොයාගැනීම්, ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ඩිජිටල් පරිවර්තනය අතිශය තීරණාත්මක වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සඳහා විශේෂයෙන්ම වැදගත් වේ.

මහාචාර්ය රුවන් ජයතිලක මහතා පෙන්වා දෙන පරිදි ඩිජිටල්කරණය යනු දැන් තවදුරටත් විකල්පයක් නොවන අතර, එය ආර්ථික තරඟකාරීත්වය, ව්‍යාපාරවල තිරසාරභාවය සහ ජාතික සංවර්ධනයේ ප්‍රධානතම ගාමක බලවේගය බවට පත්ව තිබේ. එබැවින් ඩිජිටල් තාක්ෂණයට අනුගත වීමට අපොහොසත් වන රටවල් සහ සංවිධාන අනාගතයේදී පසුපසට ඇද වැටීමේ දැඩි අවදානමකට මුහුණ දෙන බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම අධ්‍යයනය මඟින් ප්‍රායෝගික පර්යේෂණ කෙරෙහි සහ ජාත්‍යන්තර මට්ටමේ ශාස්ත්‍රීය ප්‍රකාශන සඳහා සිසුන් සම්බන්ධ කරගැනීම කෙරෙහි SLIIT ව්‍යාපාරික පාසල දක්වන වර්ධනය වන උනන්දුව මනාව පිළිබිඹු කරයි. සුදුසු ශාස්ත්‍රීය මඟපෙන්වීම්, දත්ත පරිහරණයට ඇති ප්‍රවේශය සහ සැබෑ ලෝකයේ පවතින අභියෝගයන්ට මුහුණ දීමට අවස්ථාව සැලසීම තුළින්, ශ්‍රී ලාංකීය සිසුන්ට ගෝලීය වශයෙන් වැදගත් පර්යේෂණ සඳහා කෙතරම් ඉහළ දායකත්වයක් සැපයිය හැකිද යන්න මෙම උපාධි අපේක්ෂක පර්යේෂකයන්ගේ සහභාගීත්වය මඟින් මනාව සනාථ වේ.

ඩිජිටල් පරිවර්තනය මඟින් ලෝක ආර්ථිකයන් අලුතින් හැඩගස්වන මේ යුගයේ, කර්මාන්ත ක්ෂේත්‍රය, ප්‍රතිපත්ති සම්පාදනය සහ ජාතික පරිවර්තනය සවිබල ගැන්වීම සඳහා විශ්වවිද්‍යාල සතු කාර්යභාරය මෙම අධ්‍යයනය මඟින් යළිත් තහවුරු කරයි. ඩිජිටල් ආර්ථිකයේ ගාමක බලවේගයන් අවබෝධ කරගැනීම වෙනුවෙන් SLIIT ව්‍යාපාරික පාසල අනුගමනය කරන මෙම ප්‍රවේශය, සීඝ්‍රයෙන් වර්ධනය වන නව ඩිජිටල් යුගය ජය ගැනීම උදෙසා තබන ලද සාර්ථක පළමු පියවරක් ලෙස හැඳින්විය හැක.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව