නව ගනුදෙනුකරුවන් 50,000ක් සමඟ DFCC බැංකුවෙන් දැවැන්ත පිම්මක්: Standard Chartered අත්පත් කරගැනීම සාර්ථකව අවසන්!

Capture

2026 අගෝස්තු 04, කොළඹ, ශ්‍රී ලංකාව: Standard Chartered ශ්‍රී ලංකා හි ධන කළමනාකරණ සහ පුද්ගලික බැංකුකරණ ව්‍යාපාරය අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කළ බව DFCC බැංකුව නිවේදනය කරයි. මෙම පියවරත් සමඟ ගනුදෙනුකරුවන් 50,000 කට ආසන්න පිරිසක් සහ අදාළ ව්‍යාපාරික අංශයේ සේවකයින් මේ වන විට DFCC බැංකුව සමඟ එක්ව සිටිති.

මෙලෙස අත්පත් කරගැනීමට ප්‍රමුඛතා බැංකුකරණ සේවාවන්, ක්‍රෙඩිට් කාඩ්, පුද්ගලික ණය ලබාදීම්, තැන්පතු, ධන කළමනාකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) ආදී ක්ෂේත්‍රයන්හි ගනුදෙනුකාර සබඳතා මෙන්ම තෝරාගත් මෙහෙයුම් වත්කම් ද ඇතුළත් වේ. මෙමඟින් DFCC බැංකුවෙහි පුද්ගලික බැංකුකරණ, ධන කළමනාකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි ධාරිතාව වැඩිදියුණු වන අතර එම ව්‍යාපාරවල පරාසය සහ සේවා ව්‍යාප්තිය තවදුරටත් පුළුල් වේ.




මෙම ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ ගනුදෙනුකරුවන්ගේ බැංකු කටයුතුවල අඛණ්ඩතාව තහවුරු වන පරිදිය. ආයතන ද්විත්වය අතර පැවැති මාස ගණනාවක සවිස්තරාත්මක සූදානම සහ සමීප සහයෝගීතාව හේතුවෙන්, ගනුදෙනුකරුවන්ට තම එදිනෙදා බැංකු කටයුතු, සබඳතා සහ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත. ඔවුන්ගේ පවතින Standard Chartered ගිණුම් අංක, නව DFCC බැංකු ගිණුම් අංකවලට අමතරව තවදුරටත් භාවිත කළ හැකි අතර, පවතින ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්, කාඩ්පත් PIN අංක, ස්ථාවර නියෝග, සෘජු ගිණුම් හරකිරීම් සහ නැවත නැවත සිදුවන ගෙවීම් පෙර පරිදිම බාධාවකින් තොරව ක්‍රියාත්මක වේ.

ගනුදෙනුකරුවන් පෙර සුරක්ෂිත කර තිබූ ගෙවීම් ලබන්නන්ගේ (saved payees and beneficiaries) තොරතුරු ද බැංකුවේ DFCC ONE සහ DFCC iConnect යන ඩිජිටල් බැංකුකරණ යෙදවුම් වෙත යොමු කර ඇති අතර, එමඟින් බැංකුවක් මාරු කිරීමේදී ගනුදෙනුකරුවන් මුහුණ දෙන ප්‍රධානතම අපහසුතාවයක් මඟහැරී යයි. දැනට යම් ශාඛාවක් හෝ සම්බන්ධතා කළමනාකරුවෙකු හරහා සේවා ලබාගන්නා ගනුදෙනුකරුවන්ට, තමන්ට හුරුපුරුදු එම ශාඛා සහ විශ්වාසවන්ත නිලධාරීන් හරහාම තවදුරටත් සිය බැංකු කටයුතු කරගෙන යා හැක.

DFCC බැංකුව සමඟ එක්වූ නව ගනුදෙනුකරුවන්ට දැන් බැංකුවේ පුළුල් පරාසයක පැතිරුණු පුද්ගලික බැංකුකරණ, ධන කළමනාකරණ, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, කාඩ්පත් සහ ණය විසඳුම් සඳහා ප්‍රවේශය හිමිවේ. දිවයින පුරා පිහිටි DFCC බැංකු 130 කට අධික ශාඛා ජාලය, LankaPay ජාලය හරහා 5,000 කට වැඩි ATM යන්ත්‍ර සඳහා ප්‍රවේශය, DFCC ONE, DFCC iConnect සහ විශේෂිත පාරිභෝගික සේවා නාලිකා මඟින් ඔවුන් වෙත සේවාවන් සපයනු ලබයි. එමෙන්ම සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන්ට බැංකුවේ විශිෂ්ටතම බැංකුකරණ සේවාව වන DFCC Pinnacle සඳහා ද ප්‍රවේශය හිමිවනු ඇත.

මෙම අත්පත් කරගැනීම, DFCC බැංකුවේ පුද්ගලික බැංකුකරණ සහ ධන කළමනාකරණ සේවාවන් ව්‍යාප්ත කිරීම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශය බලගැන්වීම සහ ශ්‍රී ලංකාව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සේවා සැලසීමේ හැකියාව පුළුල් කිරීම සඳහා වන දිගුකාලීන උපායමාර්ගික වැඩපිළිවෙළෙහි වැදගත් පියවරකි.

මෙම සාර්ථක ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය. “ආරම්භයේ සිටම අපගේ ප්‍රධාන අවධානය යොමු වූයේ මෙම සංක්‍රාන්ති ක්‍රියාවලිය ගනුදෙනුකරුවන්ට ඉතා සුමට හා හුරුපුරුදු එකක් බවට පත්කිරීම කෙරෙහිය. එම සුමට අත්දැකීම පිටුපස මාස ගණනාවක සවිස්තරාත්මක සැලසුම්කරණය, සමීප සහයෝගීතාව මෙන්ම ආයතන දෙකෙහිම කණ්ඩායම්වල සුවිශේෂී කැපවීමෙන් යුත් අතිශය සංකීර්ණ තාක්ෂණික වැඩසටහනක් ක්‍රියාත්මක විය.

මෙහි සාර්ථකත්වය යනු එම තාක්ෂණික සංකීර්ණතාව ගනුදෙනුකරුවන් වෙත අවම වශයෙන් හෝ දැනීමට ඉඩ නොතැබීමයි. ඔවුන්ගේ පවතින Standard Chartered ගිණුම් අංක, නව DFCC Bank ගිණුම් අංක සමඟින් තවදුරටත් භාවිත කළ හැක. පවතින ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මෙන්ම ඒවායේ PIN අංක ද තවදුරටත් භාවිත කළ හැකි අතර, ස්ථාවර නියෝග, සෘජු ගිණුම් හරකිරීම්, නැවත නැවත සිදුවන ගෙවීම්, වාරික ගෙවීමේ ක්‍රමවේද සහ අනෙකුත් එදිනෙදා බැංකු කටයුතු පෙර පරිදිම පවත්වාගෙන යා හැක. බැංකුවක් මාරු කිරීමේදී ගනුදෙනුකරුවන් මුහුණ දෙන ප්‍රධානතම අපහසුතාවයක් මඟහරවමින්, ඔවුන් මීට පෙර සුරැකි ගෙවීම් ලබන්නන්ගේ (saved payees and beneficiaries) තොරතුරු ද අපගේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවන් වෙත මාරු කර ඇත. දැනට යම් ශාඛාවක් හෝ සම්බන්ධතා කළමනාකරුවෙකු හරහා සේවා ලබාගන්නා ගනුදෙනුකරුවන්ට, තමන්ට හුරුපුරුදු එම ශාඛා සහ විශ්වාසවන්ත නිලධාරීන් හරහාම තවදුරටත් සිය බැංකු කටයුතු සිදු කළ හැක.

“මෙය සාර්ථක කර ගැනීමට තම දැනුම හා කැපවීම ලබා දුන් DFCC බැංකුවේ සහ Standard Chartered බැංකුවේ මාගේ සගයන්ටත්, ශ්‍රී ලංකා මහ බැංකුවටත්, අපගේ තාක්ෂණික හා ක්‍රියාත්මක කිරීමේ පාර්ශවකරුවන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි. අපගේ නව ගනුදෙනුකරුවන් සහ සාමාජිකයින් DFCC බැංකුව වෙත සාදරයෙන් පිළිගැනීමට ලැබීම ගෞරවයක්. ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමටත්, ඔවුන්ගේ මූල්‍ය ජීවිතයේ සෑම පියවරකදීම සහාය වීමටත් අපි බලාපොරොත්තු වෙමු.”

Standard Chartered Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී බිංඟුමාල් තෙවරාතන්ත්‍රි මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “Standard Chartered සමූහයේ ගෝලීය උපායමාර්ගයට අනුව ගත් මෙම තීරණය මඟින්, අප සතුව වැඩිම ශක්තියක් සහ සුවිශේෂී සේවා හැකියාවක් ඇති ක්ෂේත්‍ර කෙරෙහි අපගේ සම්පත් සහ අවධානය යොමු කිරීමට අපට හැකි වෙනවා. වසර ගණනාවක් පුරා අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ටත්, මෙම සංක්‍රාන්ති සමය පුරා දැක්වූ වෘත්තීයභාවය සහ කැපවීම වෙනුවෙන් අපගේ සාමාජිකයින්ටත් අපගේ කෘතඥතාව හිමිවේ. DFCC බැංකුව වෙත මාරු වූ අපගේ ගනුදෙනුකරුවන්ට සහ කාර්ය මණ්ඩලයට අපගේ සුභ පැතුම් පිරිනමන අතර ඔවුන්ගේ අනාගතයට සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමු.”

සහාය අවශ්‍ය ගනුදෙනුකරුවන්ට DFCC බැංකුවේ පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා මධ්‍යස්ථානය +94 11 235 0000 ඔස්සේ සම්බන්ධ කරගත හැකිය. නැතහොත් පවතින Standard Chartered පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 248 0480 තවදුරටත් භාවිත කළ හැක (මෙම අංකයට පැමිණෙන ඇමතුම් මේ වන විට DFCC Bank වෙත යොමු කර ඇත). එමෙන්ම ගනුදෙනුකරුවන්ට ඕනෑම DFCC බැංකු ශාඛාවක් වෙත පිවිසීමට හෝ www.dfcc.lk/welcome වෙබ් අඩවිය හරහා තොරතුරු සහ සහාය ලබා ගැනීමට හැකිය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව