එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ‘CRJB Champion’ නාමය දිනාගත් ලොව ප්‍රථම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ඉතිහාසගත වෙයි

Capture

සිය ආයතනික සංස්කෘතිය තුළ සියලු දෙනාට සමාන අවස්ථා සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමට දැක්වූ කැපවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රජනන යුක්තිය සඳහා වූ සන්ධානය (CRJB) විසින් පිරිනමන ‘චැම්පියන්‘ (Champion) නාමය හිමිකරගත් ලොව ප්‍රථම බැංකුව බවට පත් වී ඇත.

මෙම ජාත්‍යන්තර ඇගයීම, සේවක සුබසාධනය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සෞඛ්‍යය බැංකු කටයුතු සමඟ ඒකාබද්ධ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර තිරසාර ව්‍යාපාරික වර්ධනයක් කරා ගමන් කරන කොමර්ෂල් බැංකුවේ නායකත්වය ද ඉස්මතු කරයි.




ගෝලීය මට්ටමින් බැංකුව හිමි කරගත් මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. “එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ හි ‘CRJB චැම්පියන්’ නාමය හිමිකරගත් ලොව ප්‍රථම බැංකුව බවට පත්වීම ජීවිතයේ සෑම අවස්ථාවකදීම අපගේ සේවකයන් සවිබල ගැන්වෙන සේවා පරිසරයක් ගොඩනැගීමට අප දක්වන දැඩි කැපවීම පිළිබිඹු කරන අතර මෙම ඇගයීම අපට ගෞරවයක් මෙන්ම වගකීමක් ද වෙයි. සේවක සුබසාධනය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සෞඛ්‍යය තිරසාර ව්‍යාපාරයක් සඳහා අත්‍යවශ්‍ය අංග බව අපි විශ්වාස කරන අතර එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීම තුළින් අපගේ අභ්‍යන්තර ක්‍රියාපටිපාටි තවදුරටත් ශක්තිමත් කරමින් බැංකු ක්ෂේත්‍රයට ද නව ආදර්ශයක් සපයයි. මෙය අපගේ සේවකයන්ට, ගනුදෙනුකරුවන්ට සහ අප සේවය කරන ප්‍රජාවට දිගුකාලීන යහපතක් උදාකර දීමේ උත්සාහයකි.”

සේවක සුබසාධනය සහ ඉහළ සමාජ බලපෑමක් ඇති ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහන් අතර පවතින සාර්ථක සමතුලිතතාවය කොමර්ෂල් බැංකුවට ‘චැම්පියන්’ නාමය හිමිවීම සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් විය. බැංකුව සිය සේවකයින්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබා දෙන අතර, ඔවුන්ගේ පෞද්ගලික සංවර්ධනය සහ ජීවන ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සේවක කේන්ද්‍රීය සංස්කෘතියක් පවත්වාගෙන යයි.

ඊට අමතරව බැංකුව විසින් ප්‍රජා සෞඛ්‍යය නංවාලීම සඳහා කාන්තා සුළු ව්‍යවසායිකාවන් සඳහා විශේෂ වෛද්‍ය සායන සංවිධානය කිරීම, දිවයිනේ විවිධ ප්‍රදේශ සහ සේවා ස්ථාන ආවරණය කරමින් මහා පරිමාණයෙන් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ කාන්තා ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීම සිදු කර ඇති අතර විවිධ හවුල්කාරිත්වයන් සහ ජාතික මට්ටමේ ප්‍රචාරණ වැඩසටහන් ඔස්සේ රටේ සෞඛ්‍ය ප්‍රමුඛතා ඉටු කිරීමට ද සක්‍රීයව දායක වී ඇත.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව