ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ගේ සිනමා අත්දැකීම නව මානයකට ඔසවා තබමින් City of Dreams Sri Lanka හි ‘The Shoppes’ වෙත Scope Cinemas හි ආගමනය සනිටුහන් කරයි

DSC02252 (1) (LBN)

ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද සහ නවීන ජීවන රටාව හා බැඳුණු අත්දැකීම් තවත් සුවිශේෂී කඩඉමක් පසුකරමින් පවතී. දකුණු ආසියාවේ ප්‍රථම සහ විශාලතම විනෝදාස්වාදය සහ ජීවන රටාව කැටි කළ අංගසම්පූර්ණ ගමනාන්තය වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Shoppes’ සංකීර්ණය, සිය නවතම සුවිශේෂීම ආකර්ෂණීය අංගය ලෙස ‘Scope Cinemas’ සිනමා ජාලය හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

2026 ජූලි 29 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු මෙම මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා, 2026 වසර අවසන් වීමට පෙර ‘The Shoppes’ හි 10 වන මහලේ අති නවීන Scope Cinemas සිනමා සංකීර්ණයක් විවෘත වනු ඇත. මෙමඟින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට මින් පෙර කිසිදා අත්නොවිඳි ආකාරයේ නවීන තාක්ෂණයෙන් සහ ප්‍රේක්ෂකයාව සිනමාපටය හා වඩාත් සමීප කරන නැරඹුම් අත්දැකීම්වලින් යුත් සිනමා අත්දැකීමක් තිළිණ කිරීමට නියමිතය.




තිර පහකින් (five-screen multiplex) සමන්විත වන මෙම නවතම සිනමා සංකීර්ණයේ, සුවිශේෂී VIP සිනමා ශාලා දෙකක් ද අන්තර්ගත වේ. ඒවායේ සුවිශේෂී පහසුකම් සහිත ප්‍රභූ විවේකාගාර සහ විශේෂිත වූ ඉහළ පෙළේ භෝජන අත්දැකීම් ද ලබා දීමට සැලසුම් කර තිබීම දේශීය සිනමා අත්දැකීම් ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමකි.

2025 අගෝස්තු මාසයේදී ආරම්භ වූ ‘The Shoppes’ සංකීර්ණය, හුදු සාප්පු සංකීර්ණයක් පමණක් නොව, සාප්පු සවාරි, භෝජන සහ විනෝදාස්වාදය එකම වහලක් යටට ගෙන එන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත්වෙමින් තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින්, City of Dreams Sri Lanka හි කොළඹ හෝටල් අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ Cinnamon Life හි සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහ මහතා මෙසේ පැවසීය: “The Shoppes යනු හුදෙක් වෙළෙඳ සංකීර්ණයකට එහා ගිය දැක්මකින් යුක්තව නිර්මාණය වූවක්. අපගේ පාරිභෝගිකයින්ට මෙහි වැඩි වේලාවක් රැඳී සිටීමටත්, නිතර පැමිණීමටත්, සෑම පැමිණීමකදීම නව යමක් සොයා ගැනීමටත් හැකි වන පරිදි සාප්පු සවාරි, භෝජන සහ විනෝදාස්වාද අත්දැකීම් එක්තැන් කිරීමට අපට අවශ්‍ය වුණා. Scope Cinemas අප සමඟ එක්වීම, කොළඹ නාගරික දිවි පෙවෙතට නව අරුතක් එක්කිරීමේ අපගේ ගමනේ සුවිශේෂී පියවරක්.”

Scope Cinemas හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී නවිඩ් කාදර් මහතා මෙම නව හවුල්කාරීත්වය පිළිබඳව සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි: ශ්‍රී ලංකාව මින් පෙර අත්නොවිඳි ආකාරයේ සිනමා ගමනාන්තයක් නිර්මාණය කිරීම සඳහා The Shoppes at City of Dreams Sri Lanka සමඟ එක්වීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා. නවීන තාක්ෂණය, ඉහළම තත්ත්වයේ සත්කාරක සේවාවන් සහ ප්‍රශස්ත ලෙස සැලසුම් කළ විනෝදාස්වාද අත්දැකීම් ඒකාබද්ධ කිරීම හරහා, ශ්‍රී ලංකාවේ සිනමා අත්දැකීම නව මානයකට ඔසවා තැබීමටත්, සිනමාහල් වෙත පැමිණ චිත්‍රපට නැරඹීමේ ආශාව ප්‍රේක්ෂකයින් තුළ යළි අවදි කිරීමටත් අපට හැකිවනු ඇත. ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට සමීප කිරීම සහ නොමැකෙන මතකයන් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.”

මෙම ඓතිහාසික නිවේදනය සිදු කෙරුණේ ජූලි 29 වැනිදා පැවැත්වුණු ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වුණු දැවැන්තම චිත්‍රපට මංගල දර්ශනය වන ‘Spider-Man: Brand New Day’ හි මංගල දර්ශනයට සමගාමීව වීම තවත් විශේෂත්වයකි. මෙම අවස්ථාව සඳහා The Shoppes නිල උත්සව සහකරු ලෙස කටයුතු කළේය. මාධ්‍යවේදීන්, හවුල්කරුවන් සහ විශේෂ ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Spider-Man තේමාව කරගත් ආකර්ෂණීය ඩ්‍රෝන සංදර්ශනයක් ද පැවැත්විණි. ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාද අත්දැකීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ‘The Shoppes’ සතු හැකියාව මෙන්ම, Scope Cinemas හි ආගමනයට අගයක් එක් කිරීමට ද මෙම උත්සවය මනා පිටිවහලක් විය.

‘The Shoppes’ සිය පළමු සංවත්සරය සැමරීමට දින කිහිපයක් තිබියදී මෙම නිවේදනය නිකුත් වීම, එහි මීළඟ සංවර්ධන අදියර සඳහා ප්‍රබල උත්තේජනයක් සපයයි. සැලසුම් සහගත අදියර කිහිපයක් යටතේ විවෘත වන මෙහි 7 සහ 8 වන මහල් මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, මනරම් ජලාශ්‍රිත අංගණයකින් සමන්විත බිම් මහල මෙන්ම 9 සහ 10 වන මහල් ද විවෘත වීමට නියමිතය.

Scope Cinemas ට අමතරව, ඉදිරියේදී 9 සහ 10 වන මහල්වල විවෘත වීමට නියමිත නව ආහාර සංකීර්ණය (food court), පුළුල් වූ විනෝදාස්වාද අංග සහ රාත්‍රී කාලයේ කොළඹ නගරයේ ඇති සජීවී බව (nightlife) නව මුහුණුවරකින් අත්විඳීමට හැකි කලාපය මගින් ‘The Shoppes’, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාප්පු සවාරි, භෝජන සහ විනෝදාස්වාද කේන්ද්‍රස්ථානයක් ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරනු නොඅනුමානය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව