මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය පිළිබඳ ජාතික සතිය සවිබල ගැන්වීමට Atlas PlayPalz, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමග අත්වැල් බැඳ ගනී

Capture

 

Atlas Axillia පුද්ගලික සමාගමේ ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් සන්නාමයක් වන Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය (ECCD) පිළිබඳ ජාතික සතිය – 2026 ප්‍රවර්ධනය කරමින්, ගුණාත්මක මූලික අධ්‍යාපනයක ඇති වැදැගත්කම පිළිබඳව දැනුවත්භාවය නිර්මාණය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන සතියේ දැනුවත්භාවය ඉහළ නංවමින් පවත්වන ලද වැඩසටහන් තුනක් සඳහා මෙරට පෙර පාසල් ගුරුවරුන් සහ දෙමාපියන් ඇතුළු සහභාගීවන්නන් 1,000 කට අධික සංඛ්‍යාවක් සක්‍රීයව සම්බන්ධ වී ඇත. ක්‍රියාකාරකම් මූලික කරගත් ඉගෙනීම මඟින් දරුවන්ගේ බුද්ධිමය, චිත්තවේගීය, සමාජීය, ශාරීරික මෙන්ම නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීම සඳහා ඉටු කරන වැදගත් කාර්යභාරය මෙහිදී අවධාරණය කෙරිණි.




දරුවෙකුගේ මොළයේ වර්ධනයෙන්, 90% ක් පමණ සිදු වන්නේ මුල් වසර කිහිපයේදී වන අතර, පළමු වසර හත දරුවාගේ අනාගත ඉගෙනීම සහ සංවර්ධනය සඳහා තීරණාත්මක කාල පරිච්ඡේදයක් ලෙස සැලකේ. පවුල් සහ සමාජය අතර බෙදාගත් වගකීමක් ලෙස මුල් ළමාවිය සංවර්ධනයේ සහ රැකවරණයේ (ECCD) වැදගත්කම හඳුනා ගනිමින් දරුවන්, ගුරුවරුන් සහ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර එහි දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට සහ දිරිමත් කිරීමට මෙම වැඩසටහන අනගි සහායක් ලබා දෙන ලදී.

2026 මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය පිළිබඳ ජාතික සතිය ජූලි 14 වැනි දින ආරම්භ වූයේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මගපෙන්වීම යටතේ ය. මෙම දීපව්‍යාප්ත ජාතික වැඩසටහනේ තවත් කොටසක් වශයෙන්, ජූලි 15 වැනි දින ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේ දී පැවති උත්කර්ෂණීය වැඩසටහනක් සමගින් Atlas PlayPalz හි ක්‍රියාකාරකම් මාලාව ආරම්භ වූ අතර, එහිදී දරුවන් 500කට අධික පිරිසක් මුල් ළමාවිය සංවර්ධන ක්‍රියාකාරකම් සමගින් සම්බන්ධ වූහ. ඉන් අනතුරුව ජූලි 16 වන දින කොළඹ අරලියගහ මන්දිරයේ දී පෙර පාසල් ගුරුවරුන් 500කට අධික පිරිසක් සඳහා මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය කේන්ද්‍ර කරගත් සැසියක් පැවැත්විණි. මුල් ළමාවිය සංවර්ධනය හැඩගැස්වීමේ දී පෙර පාසල් ගුරුවරුන්ගේ කාර්යභාරය සහ අර්ථාන්විත ක්‍රියාකාරකම් තුළින්, ඉගෙනීම වඩාත් ආකර්ෂණීය හා ඵලදායීව සිදු කරන ආකාරය පිළිබඳව එම සැසියේදී කරුණු ඉදිරිපත් කෙරිණි. ක්‍රියාකාරකම් පදනම් වූ ඉගෙනීම හරහා දරුවන්ගේ නිර්මාණශීලිත්වය, ගැටලු විසඳීමේ හැකියාවන්, සියුම් චාලක ක්‍රියාවන්, සන්නිවේදන කුසලතාවන් සහ අවධානය යොමු කිරීම් සඳහා සහාය වන නවතම Atlas PlayPalz ක්‍රියාකාරකම් කට්ටල එළිදැක්වීම ද මෙහිදී සිදු කරන ලදී. ජූලි 20 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති දෙමාපිය සහභාගීත්ව වැඩසටහනකින් මෙම මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය පිළිබඳ සතිය නිමා වූ අතර, ඒ සඳහා වයස අවුරුදු තුනේ සිට පහ දක්වා දරුවන්ගේ දෙමාපියන් 100කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. නිවසසේ දී තම දරුවන්ගේ ඉගෙනීමට සහ සමස්ත සංවර්ධනය සඳහා සහාය වීමට දෙමාපියන්ට භාවිත කළ හැකි ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ද ලබා දෙන ලදී.

අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය දරුවෙකුගේ අනාගතය හැඩගැස්වීමේ දී මුල් ළමාවිය සංවර්ධනයේ වැදගත්කම මැනවින් ඉස්මතු කළාය. මුල් ළමාවිය සංවර්ධනය හා රැකවරණය පිළිබඳව දැනුවත්භාවය ඉහළ නැංවීමේ දී සහ සෑම දරුවෙකුගේම ඉගෙනීම සහ වර්ධනය වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් සැපයීමේ දී දෙමාපියන්, ගුරුවරුන් සහ ප්‍රජාව ඒකාබද්ධව දිරිමත් කිරීම සඳහා මුල් ළමාවිය සංවර්ධන සතිය, ජාතික කර්තව්‍යයක් ඉටු කරන බවත් අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළා ය.

‍මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් Atlas Axillia හි අලෙවි සාමාන්‍යාධිකාරී කසුනි බණ්ඩාර මෙනවිය පැවසුවේ මෙවැන්නකි. ‘‘ Atlas හි අපි විශ්වාස කරන්නේ ගවේෂණය, නිර්මාණශීලිත්වය, සහ නව සොයාගැනීම් සඳහා නිදහසක් ඇති වූ විට, දරුවන් හොඳම දේවල් ඉගෙන ගන්නා බවයි. Atlas PlayPalz හරහා සතුටින් ඉගෙන ගැනීමට හැකි පරිසරයක් තනා දෙමින්, දරුවන්ගේ මුල් ළමාවිය ආකර්ෂණීය ලෙස සංවර්ධනය කිරීමට සහාය වන දෙමාපියන් සහ පෙරපාසල් ගුරුවරුන් දිරිමත් කිරීම සඳහා අපි කැප වී කටයුතු කරන්නෙමු.

නවතම ආදර්ශ ක්‍රියාකාරකම් කට්ටල හඳුන්වාදීමත් සමග, Atlas PlayPalz ක්‍රියාකාරකම්වලින් සමන්විත ඉගෙනුම් විසඳුමක් ලෙස එහි කාර්යභාරය මැනවින් පෙන්නුම් කරයි. මෙම ක්‍රියාකාරකම් කට්ටල, කුඩා දරුවන් තුළ නිර්මාණශීලිත්වය, විශ්වාසය සහ හැකියාවන් පෝෂණය කිරීමට උපකාරී වන අතර, දරුවන්, දෙමාපියන් සහ පෙර පාසල් අධ්‍යාපනවේදීන් සවිබල ගැන්වීම උදෙසා Atlas PlayPalz සන්නාමය දක්වන උනන්දුව තවදුරටත් කැපී පෙනෙනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව