පික්මී හරහා රියැදුරන්ට සහ කුඩා ව්‍යාපාරිකයන්ට තුන් මසක් ඇතුළත රුපියල් බිලියන 22ක ආදායමක්

Capture

පික්මී ඩිජිටල් ප්‍රවාහන යෙදුම භාවිත කරන ස්වාධීන රියැදුරන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 22ක ආදායමක් හිමිවී ඇති බව ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (PickMe) පවසයි.

පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 50ක වර්ධනයක් මෙයින් පෙන්නුම් කරන අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ ස්වයං රැකියා සහ ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා PickMe ඩිජිටල් ප්‍රවාහන සේවාව ලබාදෙන දායකත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බවද සමාගම සඳහන් කරයි.

එම කාර්තුව තුළදී රුපියල් මිලියන 773ක ජාතික බදු මුදලක්ද රජයට ගෙවා ඇති අතර, මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුමට ඇති වූ තාවකාලික බාධා මධ්‍යයේ වුවද සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වූ බව සමාගම පෙන්වා දෙයි.




මෙම කාලය තුළ PickMe හි ආදායම සියයට 40කින් එනම් රුපියල් බිලියන 2.5ක් දක්වා වර්ධනය වී තිබේ. මාසිකව මෙම ජංගම මෘදුකාංග වේදිකාව භාවිත කළ පරිශීලකයන්ගේ සාමාන්‍ය සංඛ්‍යාව පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 40කින් ඉහළ ගොස්, මෙතෙක් සමාගම ලබා ඇති ඉහළම මට්ටමට ළඟා වී ඇති අතර, ඒ සමඟ යෙදුම හරහා සිදුවූ ගමන් සහ බෙදාහැරීම් ප්‍රමාණයද සියයට 43කින් ඉහළ ගොස් ඇත.

එමෙන්ම PickMe හරහා සිදුකෙරුණු ගමන්, ආහාර ඇණවුම්, බෙදාහැරීම් සහ අනෙකුත් සේවාවල සමස්ත  වටිනාකම රුපියල් බිලියන 25.3ක් දක්වා සියයට 48කින් වර්ධනය වී තිබේ. එම මුදලින් සියයට 85කට වැඩි ප්‍රමාණයක් සෘජුවම ස්වාධීන රියැදුරන් සහ වෙළෙඳ හවුල්කරුවන් වෙත හිමිවී ඇති බව සමාගම සඳහන් කරයි.

සමාගමේ සභාපති අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ PickMe හි සැබෑ වටිනාකම සමාගම උපයන ආදායමෙන් නොව, එය අනෙකුත් පාර්ශ්වයන්ට උපයාදෙන ආදායමෙන් මැනිය යුතු බවයි. “PickMe හරහා සිදුවන සෑම ගනුදෙනුවක්ම රියැදුරෙකුට ආදායමක්, වෙළෙඳ හවුල්කරුවෙකුට ව්‍යාපාරයක් සහ පරිශීලකයාට පහසුවක් වනවා. ඒ නිසා අපගේ සාර්ථකත්වය මැනිය යුත්තේ සමාගම උපයන ලාභයෙන් පමණක් නොව, යෙදුම හරහා දහස් සංඛ්‍යාත පවුල් සහ කුඩා ව්‍යාපාර වෙත උදා කරන ආදායම් අවස්ථාවලින්,” යැයි ඔහු පැවසූවේය.

මූල්‍ය වර්ෂයේ සිව්වැනි කාර්තුව සාමාන්‍යයෙන් වැඩි ඉල්ලුමක් පවතින කාලයක් වන බැවින් එයට සාපේක්ෂව වර්ධනයේ යම් මන්දගාමීවීමක් දක්නට ලැබුණු බව සමාගම සඳහන් කරයි. ඉන්ධන සැපයුමේ සීමා සහ මිල ඉහළ යාම හේතුවෙන් ගමන් ප්‍රමාණයට යම් බලපෑමක් එල්ල වූ නමුත්, පරිශීලකයන් විසින් යෙදුම භාවිත කිරීම තවත් වර්ධනය වූ බවද සමාගම ප්‍රකාශ කරයි.

PickMe හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පැවසුවේ, දිගු කාලීනව සේවාවේ වර්ධනය යනු සමාගමේ වර්ධනය පමණක් නොව, දහස් සංඛ්‍යාත ස්වාධීන රියැදුරන් සහ කුඩා ව්‍යාපාරිකයන් සඳහා ලබාදෙන නව ඉපැයුම් අවස්ථා පුළුල් කිරීම හරහා ඇතිකරන අගය ඉහල නැංවීම බවයි.

“අපගේ ඉලක්කය PickMe හි සමෘද්ධිය පමණක් නොව, එය හරහා ආදායම් උපයන තෙවන පාර්ශ්වයන්ද තවදුරටත් ශක්තිමත් කිරීමයි. අපගේ ඩිජිටල් යෙදුමේ අඛණ්ඩ වර්ධනයත් සමගම රියැදුරන්ට වැඩි ආදායමක්, වෙළෙඳ හවුල්කරුවන් හට වැඩිදියුණු වන ව්‍යාපාර අවස්ථා සහ ජනතාවට වඩා හොඳ සේවාවක් ලැබෙනවා. ඒ සඳහා තාක්ෂණය, සේවාවන්ගේ විශ්වාසනීයත්වය දියුණු කිරීම සහ රට පුරා මෙහෙයුම් ව්‍යාප්තිය සඳහා අපගේ ආයෝජන නිරතුරුව සිදුකරනවා,” යැයි ඔහු තවදුරටත් පැවසීය.

මෙම කාර්තුව තුළ සමාගමේ ශුද්ධ ලාභය සියයට 45කින් ඉහළ ගොස් රුපියල් මිලියන 631ක් දක්වා වර්ධනය වී තිබේ.

අද වන විට PickMe ප්‍රවාහන සේවාවක් පමණක් නොව, මිලියන ගණනක් පරිශීලකයන්, ස්වාධීන රියැදුරන් සහ වෙළෙඳ හවුල්කරුවන් සම්බන්ධ කරන ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් ප්‍රවාහන යෙදුමක් බවට පත්ව ඇති අතර, රටේ ඩිජිටල් ආර්ථිකය, ක්ෂුද්‍ර ව්‍යාපාර සහ ස්වයං රැකියා ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායක වෙමින් සිටියි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව