අන්තර්ගත නිර්මාණයෙන් ඔබ්බට ගොස් TikTok සමඟින් ජීවිතය ජයගත් ටෙසාරා

Image 03 (LBN)

සෑම ව්‍යාපාරයක්ම ආරම්භ වන්නේ වෙළෙඳපොළ හිඩසක් හෝ උපායමාර්ගයක් මතම නොවේ. සමහර ව්‍යාපාර ඊට බොහෝ කලකට පෙර, හුදෙක් අපේ ජීවිතයට දැනෙන කැමැත්තක් හෝ හැඟීමක් මුල් කරගෙන ආරම්භ විය හැකිය. එය පසුව අපගේ වෘත්තිය බවට පත්වන බව අපට වැටහෙන්නටත් බොහෝ කලකට පෙර සිටම, අපේ මුළු ජීවිතය පුරාම අපව ඒ දෙසට ඇද තබා ගැනීමටත් කටයුතු කරනු ඇත. සමහරුන්ට එය සැලසුම්කරණය තාක්ෂණය, සංගීතය හෝ ක්‍රීඩාව විය හැකිය.

නමුත් ටෙසාරාට එය සැමවිටම ’කතාන්දර’ විය. ප්‍රධාන සන්නාම ප්‍රචාරණ, අන්තර්ගත නිර්මාණකරණය, ව්‍යවසායකත්වය සහ ඇගේම නිර්මාණාත්මක ආයතනයක් ආරම්භ කිරීමට බොහෝ කලකට පෙර සිටම, ඇය මිනිසුන් සහ ඔවුන් සතු විවිධ කතාන්දරවලට බෙහෙවින් ප්‍රිය කළාය.  පාසල් වියේ පසුවන තරුණියක ලෙස වෙනස් සහ රසවත් දේවල් කරන අනෙකුත් තරුණ තරුණියන්ව සමාජය ඉදිරියට රැගෙන එන විශේෂ වේදිකාවක් නිර්මාණය කිරීමට ඇය නිතර සිතුවාය.




අද වන විට ඇය අන්තර්ගත නිර්මාණකරණය, සන්නාමකරණය , අලෙවිකරණය  සහ ව්‍යවසායකත්වය යන සියල්ල එකට යා කරමින්, ‘House of Creates’ නම් ඇගේම නිර්මාණාත්මක ආයතනයට නායකත්වය දෙන අතරම, TikTok හරහා ශීඝ්‍රයෙන් වර්ධනය වන රසික ප්‍රජාවක්ද දිනාගෙන සිටියි.

ආයතනයක් ආරම්භ කිරීමට පෙර, ඇය අපූරු කතන්දරකාරියක් විය. ඇගේ අරමුණ වූයේ විවිධ ක්ෂේත්‍රවලින් සමාජයට බලපෑමක් කරන තරුණ තරුණියන් සම්මුඛ සාකච්ඡාවට ලක් කර, ඔවුන් පිළිබඳ පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත රැගෙන යාමයි. ‘Teens Report’ ලෙස හැඳින්වූ මෙම ව්‍යාපෘතිය ඇගේ ප්‍රථම ව්‍යාපාරික උත්සාහය බවට පත් විය.  පසුව එය නතර කිරීමට සිදු වුවද,  එය ඇගේ වෘත්තීය ජීවිතයට ආශිර්වාදයක් වූ බව රහසක් නොවේ. පාසල් අධ්‍යාපනය අවසන් කර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසු, ටෙසාරා සිය සැබෑ ජීවිතයේ තොරතුරු වඩාත් විවෘතව අන්තර්ජාලයට එක් කිරීමට පටන් ගත්තාය  ඇය TikTok වේදිකාවට වීඩියෝ එකතු කරමින් ඉන් විනෝදයක් ලබන්නට විය.

වසංගත කාලය තුළ ඇය අඛණ්ඩව වීඩියෝ නිර්මාණය කිරීමට යොමු වූ අතර, එය පසුව ඇගේ සාර්ථක වෘත්තීය ජීවිතය බවට පත්වන ව්‍යාපාරික පදනම බවට පත් විය කෙසේ වෙතත්, ඒ වන විට ඇය ව්‍යවසායකත්වයක් හෝ ආයතන හිමිකාරිත්වයක් ගැන සිතා සිටියේ නැත. ඇය මුහුණ දුන්නේ එදිනෙදා ලැබෙන අවස්ථාවලට පමණි. ”මම කවදාවත් හිතුවේ නැහැ මේක මෙච්චර ලොකු දෙයක් වෙයි කියලා. මම කළේ මට ලැබුණු අවස්ථාවෙන් ඉදිරියටම ගිය එක විතරයි,” ඇය පැවසුවාය.

සමාගමක් ආරම්භ කිරීමේ ජීවිත කාලීන සිහිනයකින් සිය ව්‍යාපාරය ඇරඹි බව පවසන බොහෝ නිර්මාතෘවරුන් මෙන් නොව, ඇය තමන්ව මෙහෙයවූ සැබෑ හේතුව ඉතා අවංකව හෙළි කරයි. මූල්‍යමය වශයෙන් ස්වාධීන වෙන්න තිබුණු දැඩි බලපෑම සහ පීඩනය මම මෙයට යොමු වීමට හේතුවක් වුණා”  ඇය පවසයි.

සමාජ මාධ්‍ය හරහා අන්තර්ගතයන් නිර්මාණය කිරීම මිනිසුන් වැරදියට වටහාගෙන තිබූ වකවානුවක, ටෙසාරාට සාම්ප්‍රදායික මතවලට අභියෝග කිරීමට සිදු විය. ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක වසරකට වැඩි කාලයක් සේවය කරන අතරතුරදීම, ඇය සිය TikTok රසික ප්‍රජාවද වර්ධනය කළාය. පසුව ඇය බොහෝ තරුණ ව්‍යවසායකයන් මුහුණ දෙන තීරණයකට මුහුණ දුන්නාය. එනම්, තවදුරටත් වෙනත් අයෙකුගේ ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා වෙහෙසෙනවාද, නැතහොත් තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනැඟීමට අවදානමක් ගන්නවාද යන්නයි. ඇය TikTok හරහා ප්‍රගුණ කළ කතන්දර කීමේ හැකියාව, ප්‍රේක්ෂක මනෝවිද්‍යාව සහ රසික ප්‍රජාවන් ගොඩනැඟීමේ අත්දැකීම් ඇගේ නව ව්‍යාපාරයේ පදනම බවට පත් විය.

#WomenInBusiness, #Entrepreneurship, #SmallBusiness සහ #TikTokSriLanka වැනි හැෂ්ටැග් ඔස්සේ ටෙසාරා හුදෙක් වීඩියෝ පළ කිරීම පමණක් නොව, තමන් වැනිම එකම අරමුණක් වෙනුවෙන් වෙහෙසෙන සහෝදර පිරිසක්ද සොයා ගත්හ. කාලයත් සමඟ මෙම සම්බන්ධතා හරහා ව්‍යාපාරික අවස්ථා උදා වන්නට විය. සාමාන්‍ය අන්තර්ගත නිර්මාණකරණයෙන් ඇරඹි මෙම ගමන, වෙනත් ක්‍රමයකින් කිසිදා උදා කරගත නොහැකි වූ සන්නාම හවුල්කාරිත්වයන්, ව්‍යාපාරික සබඳතා සහ පාරිභෝගික අවස්ථා දක්වා දුරක් ගමන් කළේය. සෑම නව ප්‍රචාරණ කටයුත්තක්ම ඇයට සන්නිවේදනය පිළිබඳ අලුත් පාඩමක් කියා දුන්නේය. අද වන විට, ඇගේ ව්‍යාපාරික ආයතනය තමන් සමඟ වැඩ කරන අනෙකුත් සන්නාම සඳහාද භාවිත කරන්නේ මෙම සාර්ථක ”කතන්දර කීමේ කලාවයි”.

තම ව්‍යාපාරික ආයතනය පුළුල් පරාසයක විහිදුණු අලෙවිකරණ සහ නිර්මාණාත්මක සේවාවන් රැසක් සපයන නමුත්, මේ සියල්ල ගොඩනැඟුණු ආකාරය පිලිබඳව ටෙසාරාට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ඇගේ ආයතනය සිය දෙවන වසර සනිටුහන් කරන මෙම අවස්ථාවේදී, ජයග්‍රහණ වෙනුවෙන් සහාය දුන් සියලු දෙනාට ස්තුතිය පළ කිරීමට ඇය අමතක කළේ නැත. “අපේ පළමු වසර දෙක සාර්ථකව අවසන් කරන මේ මොහොතේ, මේ ගමනේ කොටස්කරුවන් වුණු හැමදෙනාටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපිට මුහුණ දෙන්න වුණු හැම අභියෝගයකටම මම ස්තූති කරනවා.”



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව