අසමාන්‍ය ලෙස වයස්ගත වීම: ශ්‍රී ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල විශ්‍රාමිකයන් මුහුණ දෙන අභියෝග එකිනෙකට වෙනස් වීමට හේතු ?

Capture

ශ්‍රී ලංකාව තුළ විශ්‍රාම දිවිය සෑම පුද්ගලයෙකුටම එක හා සමාන අත්දැකීමක් නොවෙයි. සේවක අර්ථසාධක අරමුදල (EPF) හෝ සේවක නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) සඳහා දශක ගණනාවක් පුරා  දායකත්වයක් ලබා දුන් සේවකයින් දෙදෙනෙකු එකම වයසේදී  විශ්‍රාම ගොස්, දළ වශයෙන් සමාන මුදලක් ලබා ගත්තද, ඉන් අනතුරුව ඔවුන් මුහුණ දෙන මූල්‍ය යථාර්ථයන් එකිනෙකට බෙහෙවින් වෙනස් විය හැකිය. මෙම වෙනසට හේතු වන්නේ, ඔවුන්ගේ ආදායම් මට්ටම හෝ මූල්‍ය කළමනාකරණ හැකියාව පමණක් නොවේ. බොහෝ අවස්ථාවලදී, එයට බලපාන ප්‍රධානතම සාධකය වන්නේ ඔවුන් ජීවත් වන භූගෝලීය ප්‍රදේශය සහ එම ප්‍රදේශයේ පවතින සමාජ හා ආර්ථික වාතාවරණයයි.

​ දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී, ශ්‍රී ලංකාවේ ජනගහනය තුළ වයස්ගත වීමේ ක්‍රියාවලිය ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන අපේක්ෂාවන් පිළිබඳ 2024 සංශෝධනයට (United Nations World Population Prospects 2024 revision) අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත ආයු අපේක්ෂාව වසර 77.67ක් ලෙස සටහන් කර ඇති අතර, එය ස්ත්‍රී පුරුෂ භාවය අනුව, කාන්තාවන් සඳහා වසර 80.75ක් සහ පිරිමින් සඳහා වසර 74.45ක් ලෙස ද වෙන් කර දැක්විය හැකිය. උපත් අනුපාතය පහත වැටීම සහ ආයු කාලය දීර්ඝ වීම යන කරුණු දෙකම හේතුවෙන් කලාපයේ වේගයෙන්ම වයස්ගත ජනගහනය ඉහළ යන රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබේ. 2025 වසර වන විට, සෑම ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම වයස අවුරුදු 60 ට වඩා වැඩි අය වනු ඇත. මෙම වෙනස දැනටමත් ආරම්භ වී ඇති අතර, එය දිවයින පුරා ඒකාකාරී ලෙස සිදුවන්නක් නොවේ. සෙලින්කෝ ලයිෆ් (Ceylinco Life) සමාගම, වසර 22 ක් පුරා මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටින ආයතනයක් ලෙස, දිවයින පුරා විවිධ ප්‍රජාවන් සහ දිස්ත්‍රික්ක ඔස්සේ මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි.




 

​”ලංකාවේ විශ්‍රාමික පරතරය කියන්නේ ව්‍යුහාත්මක ගැටලුවක් මිසක් පුද්ගලික අසාර්ථකත්වයක් නෙවෙයි. EPF සහ ETF ක්‍රම නිර්මාණය වුණේ මීට වඩා වෙනස් ජනගහන යථාර්ථයක් තිබුණු අවධියකයි. ඒ  අවදියේ මිනිසුන්ගේ ආයු කාලය කෙටියි.  සමාජය තුළ පවුල් ඒකක එකට ජීවත් වූ අතර වැඩිහිටියන් රැක බලා ගැනීම සඳහා එම පවුල තුළම පැවැති අවධිමත් රැකවරණ ක්‍රමවේදය විශ්වාසවන්ත විය. නමුත් අද වෙනකොට ඒ උපකල්පන කිසිවක් ඒ විදිහටම වලංගු වෙන්නේ නැහැ. වේගයෙන්ම වයස්ගත වන දිස්ත්‍රික්ක තමයි මේ වෙනස දරාගන්න අඩුවෙන්ම සූදානම් වෙලා සිටින්නේ. මේකට විසඳුම් සෙවීමට වඩා හොඳ ප්‍රතිපත්ති වගේම වඩා හොඳ පුද්ගලික සැලසුම්කරණයක් අවශ්‍ය වෙනවා, ඒ වගේම මේ දෙකම ප්‍රමාද කරන්න බැහැ,” යැයි සෙලින්කෝ ලයිෆ්හි අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා  සඳහන් කරයි.

​භූගෝලීය අසමානතාවය 

​ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක එකිනෙකට වෙනස් විශ්‍රාමික අර්බුදවලට මුහුණ දීමට ප්‍රධානතම හේතුවක් වන්නේ භූගෝලීය අසමානතාවයයි. දිවයින පුරා ජීවන වියදම් දර්ශකයන්හි කැපී පෙනෙන පරතරයක් පවතින අතර, කොළඹ නගරය තවමත් ශ්‍රී ලංකාවේ වැඩිම ජීවන වියදමක් සහිත නගරය බවට පත්ව තිබේ. වැඩිහිටියන්ගේ වියදම් ප්‍රමුඛතා අතර ආහාර, සෞඛ්‍ය සේවා සහ රැකවරණය තවදුරටත් ඉහළින්ම පවතී.

​නාගරික පරිසරයක වෙසෙන වැඩිහිටියෙකුගේ ජීවන තත්ත්වය ග්‍රාමීය පරිසරයක වෙසෙන වැඩිහිටියෙකුට වඩා බෙහෙවින් වෙනස් ය. නගරවල මුදල් ගෙවා ලබාගත හැකි වැඩිහිටි නිවාස පහසුකම් බහුල වුවත්, ග්‍රාමීය වැඩිහිටියන් වැඩි දෙනෙක් ජීවත් වන්නේ තම පවුලේ අය සමඟ ඉතා සීමිත පහසුකම් යටතේය. මෙම තත්ත්වයන් දෙකෙහිම පවතින සැබෑ ආර්ථික බලපෑම්, බොහෝ විශ්‍රාමික මූල්‍ය ගණනය කිරීම්වල ඇතුලත් නොවේ.

​ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2026 ජනවාරි මාසය වන විට, කොළඹ වෙසෙන පුද්ගලයෙකුට තම අත්‍යවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට රුපියල් 18,044 ක පමණ මුදලක් අවශ්‍ය වේ. මෙය රටේ ඉහළම අගයයි. ගම්පහ දිස්ත්‍රික්කය රුපියල් 17,951 ක් සහ කළුතර දිස්ත්‍රික්කය රුපියල් 17,562 ක් ලෙස ඊට පසුපසින් සිටී. බස්නාහිර පළාතෙන් ඔබ්බට යන විට මාසික වියදම් අවශ්‍යතාවය තරමක් අඩු වේ. මහනුවර රුපියල් 16,983 ක්, ගාල්ල රුපියල් 16,998 ක්, කුරුණෑගල රුපියල් 16,434 ක් සහ යාපනය රුපියල් 16,327 ක් ද වේ. දිස්ත්‍රික්ක අතරින් අඩුම අගය වාර්තා වන්නේ මොණරාගලින් වන අතර එම අගය රුපියල් 15,997 කි.

​වැඩිම සහ අඩුම වියදම් සහිත දිස්ත්‍රික්ක අතර පවතින රුපියල් 2,000 කට වඩා වැඩි පරතරය තනිව ගත් කල එය සුළු මුදලක් ලෙස පෙනෙන්නට තිබුණද, වසර පහළොවක හෝ විස්සක විශ්‍රාමික කාලයක් පුරා උද්ධමනයට ගැලපෙන පරිදි මෙය එකතු වූ විට, එය පුද්ගලයෙකු සේවයෙන් විශ්‍රාම ගැනීමට පෙර එකතු කර ගත යුතු ඉතිරිකිරීම් ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් ඇති කරයි.

 

​කලාපීය ආර්ථික බලපෑම

​උද්ධමනය යනු විශ්‍රාම දිවියේ ගුණාත්මකභාවය තීරණය කරන තවත් එක් සාධකයක් වන අතර, බොහෝ විශ්‍රාම සැලසුම්වල දී මෙය අවතක්සේරු කරනු ලැබේ. පුරෝකථනය කළ හැකි සහ කළ නොහැකි බලපෑම් හේතුවෙන් ජීවන වියදම ඉහළ යන අතර, දශකයක් පුරා එහි සමුච්චිත බලපෑම (cumulative effect) බරපතල විය හැකිය.

​ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය සහ 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය ඇතුළු ආර්ථික කඩා වැටීම් හේතුවෙන් ජීවන වියදම අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි. 2012 සහ 2013 වසරවලදී ජාතික දරිද්‍රතා රේඛාව මසකට රුපියල් 5,000 ට වඩා ඉහළින් පැවතුන අතර, එය ක්‍රමයෙන් 2016 වන විට රුපියල් 6,000 දක්වාත් 2019 වන විට රුපියල් 7,000 දක්වාත් ඉහළ ගියේය. 2025 මුල් භාගය වන විට එය රුපියල් 16,000 ඉක්මවා ගිය අතර, 2026 අප්‍රේල් වන විට රුපියල් 16,730 දක්වා ළඟා විය. එය දශකයකට ආසන්න කාලයක් තුළ තුන් ගුණයකට වඩා වැඩි වීමකි.

​2015 වසරේදී පවුලේ වියදම් සඳහා මසකට රුපියල් 30,000 ක් සැලසුම් කර විශ්‍රාම ගත් පුද්ගලයෙකුට, එදා පැවති ජීවන තත්ත්වය එලෙසම පවත්වා ගැනීමට අද වන විට රුපියල් 90,000 කට ආසන්න මුදලක් අවශ්‍ය වේ. මීට වසර පහකට පෙර කරන ලද බොහෝ විශ්‍රාමික ගණනය කිරීම්වලදී මෙවැනි මහා පරිමාණ වෙනසක් අපේක්ෂා නොකළ ද, අද දින එවැනි ගණනය කිරීම් සිදු කරන බොහෝ දෙනා ද නැවතත් එම වැරැද්දම සිදු කරමින් සිටිති.

 

​සෞඛ්‍ය සේවා සඳහා ඇති සීමිත ප්‍රවේශය

​විශ්‍රාම ගැනීමෙන් පසු සෞඛ්‍ය සේවාවල අවශ්‍යතාවය අඩු නොවෙයි. එය තවදුරටත් තීව්‍ර වේ. කාලයත් සමඟ ශාරීරික සෞඛ්‍යය පිරිහෙන අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන වාර ගණන සහ ඒ සඳහා යන වියදම ද ඒ අනුව ඉහළ යයි. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමේ ගාස්තුව පරීක්ෂණ හෝ ප්‍රතිකාරවලට පෙර රුපියල් 2,000 සිට රුපියල් 5,000 දක්වා හෝ ඊට වඩා වැඩි විය හැකිය. ස්ථාවර මාසික ආදායමකින් ජීවත් වන විශ්‍රාමිකයෙකුට, එක් වරක් රෝහල්ගත වීමකින් පමණක් මාස ගණනාවක ඉතිරිකිරීම් නැති වී යා හැකිය.

​විදේශ සංක්‍රමණවල බලපෑම හේතුවෙන් මෙම අභියෝගය තවත් සංකීර්ණ වී ඇත. රැකවරණ සේවා (caregiving) සහ අනෙකුත් ක්ෂේත්‍රවල ඉහළ වැටුප් ලබා ගැනීම සඳහා මෑත වසරවලදී සැලකිය යුතු තරුණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශගත වී ඇත.  මෙරට වෙසෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, විශේෂයෙන්ම සීමිත ආදායම් ලබන ග්‍රාමීය දිස්ත්‍රික්කවල වෙසෙන වයෝවෘද්ධ දෙමාපියන්, ඉහළ යන වියදම්වලට සහ පවුලේ සහයෝගය අවම වීමේ අභියෝගයන්ට ද මුහුණ දෙමින් සිටිති. එබැවින් අතීත පරපුර විශ්වාසය තැබූ අවධිමත් රැකවරණ ක්‍රමවේදයන් (informal care arrangements) පිළිබඳව තවදුරටත් එලෙසම විශ්වාසය තැබිය නොහැක.

​දුරස්ථ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය පහසුකම් අවම වන අතර විශේෂඥ වෛද්‍ය සේවාවන් සීමිතය. එමෙන්ම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගමන් කිරීමට සිදුවීම නිසා කාලය මෙන්ම අමතර වියදම් ද වැඩි වේ. විශ්‍රාමිකයෙකු කොළඹ ජීවත් වුව ද, බස්නාහිර පළාතෙන් බොහෝ ඈත දිස්ත්‍රික්කයක ජීවත් වුව ද මූල්‍යමය බලපෑම එක හා සමාන වේ. එනම් සෑම වසරක් පාසාම සෞඛ්‍ය සේවා සඳහා විශ්‍රාමික ආදායමෙන් වැඩි කොටසක් වැය වන අතර, පුද්ගලයෙකු සතු ඉතිරිකිරීම් අඩු වන තරමට එම පීඩනය වඩාත් දැඩි වේ.

 

​ජීවිත රක්ෂණ සමාගම්වල මැදිහත්වීම

​මේ ආකාරයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ජීවිත රක්ෂණ සමාගම්වලට වැදගත් කාර්යභාරයක් පැවරී තිබේ.EPF දායකත්වයන්ට සහ පුද්ගලික ඉතිරිකිරීම්වලට සිදු කළ නොහැකි දිගුකාලීන මෙන්ම ව්‍යුහගත කැපවීමක් ජීවිත රක්ෂණ සමාගම් මඟින් ලබා දෙයි. ජීවිත රක්ෂණ සමාගමක් හරහා ලබා ගන්නා විශ්‍රාම සැලසුමක් යනු හුදෙක් උදාසීන ඉතිරිකිරීමේ ක්‍රමයක් නොවේ. එය පුද්ගලයාගේ නිශ්චිත තත්ත්වයන් මත පදනම්ව ගොඩනැඟුණු ගිවිසුම්ගත එකඟතාවකි. එමෙන්ම එය ද්‍රවශීලතාව, ණයගැතිභාවය සහ සංචිත කළමනාකරණය පිළිබඳ දැඩි නියාමන අවශ්‍යතාවලට යටත්, සහතිකලත් ආයතනයක් මඟින් පාලනය වන්නකි.

​බොහෝ දෙනෙක් අපේක්ෂා කරනවාට වඩා මෙම නියාමන රාමුවේ පවතින කාර්යභාරය අතිශයින්ම වැදගත් වේ. ජීවිත රක්ෂණ සමාගම් තම දිගුකාලීන වගකීම් නිසි ලෙස ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් පවත්වාගෙන යා යුතු අතර, ඒ වෙනුවෙන් ඒවා දැඩි නියාමනයකට හා පරීක්ෂාවකට ලක් කෙරේ. පුද්ගලයෙකු ජීවිත රක්ෂණ සමාගමක් සමඟ තම විශ්‍රාම දිවිය සැලසුම් කරන විට, එහි ඇති විශ්වසනීයත්වය සහ සහතිකය හුදෙක් වෙළඳ ප්‍රචාරණ හිමිකම් පෑමක් නොවේ. ඒවා එම කර්මාන්තය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නියාමන ව්‍යුහය තුළම අන්තර්ගත කර ඇත. ව්‍යුහගත ජීවිත රක්ෂණ සැලසුමක් සමඟ ලැබෙන ආරක්ෂාව, එම ක්ෂේත්‍රය ක්‍රියාත්මක වීමට නියමිත ආකාරය තුළම අන්තර්ගත වී ඇත.

 

​ජීවිතයේ සෑම අදියරකටම ගැලපෙන විසඳුමක්

​විශ්‍රාම සැලසුම්කරණය පිළිබඳව පවතින වඩාත් පොදු වැරදි මතයක් වන්නේ එය අදාළ වන්නේ තරුණ අයට පමණක් බවයි. ජීවිත රක්ෂණ සමාගමකට ඕනෑම වයස් සීමාවක සිටින අයෙකු වෙනුවෙන් විසඳුම් සැපයිය හැකිය. රැකියා ක්ෂේත්‍රයට පිවිසෙන අවුරුදු 25 ක තරුණයෙකුට දශක ගණනාවක් පුරා වර්ධනය වන විශ්‍රාමික පදනමක් ගොඩනැගීම ආරම්භ කළ හැකිය. තවමත් විධිමත් සැලසුමක් සකස් කර නොමැති අවුරුදු 50 ක පුද්ගලයෙකුට වුවද, ඉදිරි වසර කිහිපය තුළ ආදායම් සුරක්ෂිතතාව, ආරක්ෂාව සහ සෞඛ්‍ය ආවරණය ලබා දීම සඳහා නිර්මාණය කර ඇති නිෂ්පාදන සඳහා ප්‍රවේශ විය හැකිය. යමෙකු විශ්‍රාම සැලසුම්කරණය ප්‍රමාද වී ආරම්භ කළ පමණින් ඒ සඳහා ඇති අවස්ථාව අහිමි නොවේ.

​වයස සමඟ වෙනස් වන්නේ සැලසුමේ ව්‍යුහය මිස එහි ඇති වැදගත්කම නොවේ. බාල වයස්කාර රක්ෂණ හිමියන්ට අඩු වාරික, දිගු මුදල් එකතු කිරීමේ කාලසීමාවන් සහ ඉහළ සමුච්චිත ප්‍රතිලාභ හිමි වේ. විශ්‍රාම යාමට ආසන්න හෝ දැනටමත් විශ්‍රාම ගොස් සිටින අයට ක්ෂණික ආරක්ෂාව, ව්‍යුහගත ආවරණ සහ වයසත් සමඟ වැඩි වන සෞඛ්‍ය වියදම් සඳහා වන ආවරණ සහිත සැලසුම්වලින් ප්‍රතිලාභ ලැබේ. මෙම අවශ්‍යතා දෙකම සපුරාලීමට නිෂ්පාදන පරාසයක් සහ දිගුකාලීන අත්දැකීම් ඇති ජීවිත රක්ෂණ සමාගමකට, තම සේවාදායකයා සිටින ඕනෑම මට්ටමකදී ඔවුන්ව සපුරාලිය හැකිය.

​දිගුකාලීන කැපවීම ප්‍රධාන වටිනාකමකි

​ජීවිත රක්ෂණ සමාගමක් හරහා විශ්‍රාම සැලසුම් කිරීම යනු හුදෙක් ගනුදෙනුවක් පමණක් නොවේ. එය වසර ගණනාවක්, ඇතැම් විට දශක ගණනාවක් පුරා ගොඩනැඟෙන සබඳතාවයකි. රක්ෂණ සමාගම නිශ්චිත බැඳීම් භාර ගන්නා අතර රක්ෂණ හිමියාට ඒ වෙනුවෙන් නිශ්චිත ආරක්ෂාවක් ලැබෙන දිගුකාලීන කැපවීමක් මත මෙය පදනම් වේ. මෙය දැනට බොහෝ ශ්‍රී ලාංකිකයන් අනුගමනය කරන EPF එකතු කිරීම්, අවධිමත් ඉතිරිකිරීම් සහ ඉතිරි සියල්ල පවුලේ අය විසින් බලාගනු ඇතැයි යන බලාපොරොත්තුව මත පදනම් වූ ක්‍රමයට වඩා මූලික වශයෙන් වෙනස් ප්‍රවේශයකි.

​තමන්ට සම්පූර්ණයෙන්ම පුරෝකථනය කළ නොහැකි අනාගතයක් වෙනුවෙන් ආයෝජනය කරන අයට ප්‍රමුඛතාවය විය යුත්තේ කෙටිකාලීන ප්‍රතිලාභ උපරිම කර ගැනීම නොවේ. ජීවන වියදමට, සෞඛ්‍ය සේවාවලට හෝ පවුලේ තත්ත්වයන්ට කුමක් සිදු වුවද නොසැලී පවතින මූල්‍ය පදනමක් සුරක්ෂිත කර ගැනීමයි. ජීවිත රක්ෂණය පවතින්නේ හරියටම එවැනි දිගුකාලීන ආරක්ෂාවක් සැපයීම සඳහාය. එය පුද්ගලයන්ට තනිවම විශ්වාසදායක ලෙස ඉටු කළ නොහැකි බැඳීම් භාර ගැනීමේ ව්‍යාපාරයයි.

​සැලසුම් කිරීමට සුදුසුම කාලය විශ්‍රාම යන මොහොත නොවේ

​ශ්‍රී ලංකාව මුහුණ දෙන විශ්‍රාමික අභියෝගය සෑම තැනකටම එක හා සමාන නොවේ. එය දිස්ත්‍රික්කය, ආදායම, පවුල් ව්‍යුහය සහ එක් එක් වැඩ කරන වැඩිහිටියා ගන්නා හෝ ප්‍රමාද කරන තීරණ අනුව වෙනස් වේ. ජීවන වියදම, සෞඛ්‍ය සේවාව සහ වයස්ගත වන ජනගහනය පිළිබඳ දත්ත සියල්ලම පෙන්වා දෙන්නේ එකම දිශාවකි. එනම් EPF පමණක් ප්‍රමාණවත් නොවන බවත්, බොහෝ දෙනා සැලසුම් කර ඇති දේ සහ ඔවුන්ට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන දේ අතර පරතරය බොහෝ දෙනෙකු පිළිගැනීමට සූදානම් වනවාට වඩා විශාල බවත්ය.

​වසර 22 ක් පුරා ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම, තම රක්ෂණ හිමියන් වෙනුවෙන් වන දිගුකාලීන කැපවීම මත තම මූලික ව්‍යාපාරය ගොඩනඟා ඇත. 2026 වසර පුරා ක්‍රියාත්මක වන ජාතික විශ්‍රාමික දැනුවත් කිරීමේ ව්‍යාපාරය (national retirement awareness campaign) හරහා, ජීවිතයේ සෑම අදියරකදීම සිටින ශ්‍රී ලාංකිකයන් වෙත මෙම සංවාදය රැගෙන යාමට සමාගම කටයුතු කරමින් සිටියි. සැලසුම් කිරීමේ අවශ්‍යතාවය තනි මොහොතකදී උදා වන්නක් නොවේ. එය ආරම්භ වන්නේ පළමු වැටුප ලබා ගන්නා විට වන අතර, එය අවසන් වන්නේ අවසාන වගකීම ඉටු කරන තෙක්ය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව