International Property Awards Asia Pacific සම්මාන උළෙලේදී නිර්මාණකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් Sun Siyam සහ StudioSixty7 සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Capture

බැංකොක් නුවර පැවති International Property Awards Asia Pacific සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව හා මාලදිවයින කේන්ද්‍ර කරගත් Sun Siyam හෝටල් ජාලය සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. ගෘහ නිර්මාණ ශිල්පය, අභ්‍යන්තර සැලසුම්කරණය සහ නිර්මාණ ක්ෂේත්‍රයම ජාත්‍යන්තරව ඇගයීමට ලක් කරන මෙම සම්මාන උළෙලේ දී, මාලදිවයින කේන්ද්‍රකරගත් Sun Siyam Resorts හෝටල් ජාලයේ  Privé Collection එකතුවේ කොටසක් වන ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah Resort සහ මාලදිවයිනේ පිහිටි Sun Siyam Iru Fushi යන හෝටල්වල දක්නට ලැබෙන නවීන නිර්මාණ සංකල්ප, අභ්‍යන්තර සැලසුම් ඇතුලු සමස්ත නිර්මාණකරණයම මෙහිදී ඇගයීමට ලක් විය.




මෙම සම්මාන උළෙලේ දී ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 80කට අධික සංඛ්‍යාවකින් සමන්විත ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසිනි. මෙම් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලය සඳහා Hotel Interiors – Sri Lanka සම්මානයත්, මාලදිවයිනේ Sun Siyam Iru Fushi හි Deluxe Water Villa සඳහා Hotel Suite Interiors – Maldives සම්මානයත් හිමි විය. මෙම සුවිශේෂී ව්‍යාපෘති දෙකම මෙහෙයවනු ලැබුවේ ලන්ඩනය පදනම් කරගත්, Jose Rivero සහ Lee McNichol විසින් ආරම්භ කරන ලද Studio Sixty7 ආයතනය විසිනි.

මෙම සම්මානලාභී ව්‍යාපෘති දෙකම සාර්ථක වූයේ Sun Siyam සහ ලන්ඩන් නුවර පදනම් කරගත් අභ්‍යන්තර නිර්මාණ ආයතනයක් වන Studio Sixty7 අතර පවතින දීර්ඝකාලීන නිර්මාණාත්මක හවුල්කාරිත්වය හේතුවෙනි. වටපිටාවට, ද්‍රව්‍ය භාවිතයට සහ එම ස්ථානයටම ආවේණික වූ සුවිශේෂී ආත්මීය ලක්ෂණ (spirit of a place) මතු කර දැක්වීම මෙම ආයතනයේ ඇති සුවිශේෂීත්වයයි. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය සහ මාලදිවයිනේ කලපු පරිසරය වැනි එකිනෙකට බෙහෙවින් වෙනස් පරිසරයන් දෙකක වෙනස්ම නිර්මාණයන් දෙකක් මෙහෙයවීම සදහා Jose සහ Lee යන දෙදෙනාම සුවිශේෂී දායකත්වයක් ලබා දුන්හ.

එහිදී ඔවුන් අනුගමනය කළ මූලික දර්ශනය වූයේ සුඛෝපභෝගීත්වය පරිසරයට පිටතින් එක් කළ අංගයක් ලෙස නොව, එම භූමියටම ආවේණික වූ ස්වාභාවික ගුණාංගවලින්ම පෝෂණය වූ අංගයක් ලෙස ගොඩනැඟිය යුතු බව බවයි.

” International Property Awards Asia Pacific උළෙලේදී, ශ්‍රී ලංකාවේ ‘Sun Siyam Pasikudah’ සහ මාලදිවයිනේ ‘Sun Siyam Iru Fushi’ වෙනුවෙන් සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට ලැබීම ගැන අපි ඉමහත් ආඩම්බරයට පත් වෙනවා. මෙම ව්‍යාපෘති දෙකම අපට ඉතා වැදගත්. Sun Siyam සමග අප සිදු කළ කාර්යයන්, හුදෙක් සෞන්දර්යාත්මකව පමණක් නොව, අවට පරිසරය සමග මුල් බැසගත්, සංචාරකයින්ට දැනෙන සහ අත්විඳිය හැකි ආකාරයේ අවකාශයන් නිර්මාණය කිරීමට අපව පොළඹවා තිබෙනවා. අපගේ නිර්මාණාත්මක හැකියාවට ලැබුණු මෙම ඇගයීම ගැන අපි ආයතනයක් ලෙස ඉතා සතුටු වෙනවා. Sun Siyam කණ්ඩායමේ සහාය නොමැතිව අපට මෙය සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇත. ඔවුන් අපගේ දැක්ම කෙරෙහි විශ්වාසය තැබූ අතර, අපගේ උපරිම දක්ෂතාවය පෙන්වීමට අවස්ථාව ලබා දුන්නා. සුඛෝපභෝගී බව සහ ස්ථානයක පවතින සුවිශේෂී ගෞරවනීය බව යනු එකිනෙකට පටහැනි දේවල් නොවන බවට වූ අපගේ විශ්වාසය ඔවුන් සමග බෙදා ගැනීමට ලැබීම භාග්‍යයක්. මෙම හවුල්කාරිත්වය වෙනුවෙන් අපි ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර, ඔවුන්ගේ නිර්මාණාත්මක ගොඩනැගීම්වල එක් කොටසක් බවට පත්වීම වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා,” යනුවෙන් Studio Sixty7 හි සම-නිර්මාතෘවරුන් වන Jose Rivero සහ Lee McNichol ප්‍රකාශ කළහ.

මාලදිවයිනේ Noonu Atoll කලාපයේ පිහිටි Sun Siyam Iru Fushi, Sun Siyam හෝටල් ජාලයේ ප්‍රධානතම සුඛෝපභෝගී හෝටලයයි. මෙම සම්මානය හිමිවූයේ Sun Siyam Iru Fushi හි අලුතින් නිර්මාණය කරන ලද Deluxe Water Villa සඳහායි. මෙහි අලංකරණය තුළ මෘදු වර්ණ, ස්වාභාවික වයනය සහ මෘදු හැඩතල භාවිත කර ඇති අතර එමඟින් සංචාරකයින්ට සන්සුන් සහ සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දෙයි.

හෝටල් පරිශ්‍රය තුළ නිදහස් හා අතිශය උසස් මට්ටමේ වාතාවරණයක් සැපයීම සදහා මෘදු වර්ණ, ස්වභාවික වස්තු රූප සහ ආකෘතීන්,  ස්වභාවික ආකර්ෂණයක් සහිත ප්ලාස්ටර් බිත්ති සැහැල්ලු හා වාතය ගමන් කරන ලිනන් රෙදි උපයෝගී කොට ගෙන තිබේ. එක් එක් විලා කොටස් සාගර දර්ශනයට නිරාවරණය වන පරිදි නිර්මාණය කර ඇති අතර, එය විවෘත සැලසුමකින් (open-plan) සහ සන්සුන් බවකින් යුක්ත වේ. නාන කාමරයේ සිට සෘජුවම කලපුවේ සුන්දරත්වය නැරඹීමට අවස්ථාව සැලසේ. එල්ලා තබන ලද ඔංචිලි සහ මෘදු කොළ පැහැති ආලෝකයන් සහිත පෞද්ගලික විවෘත අවකාශයන් (private decks) තුළ සිටිමින් නිහඬ බව විඳගැනීමට කදිම ස්ථානයකි. මීට අමතරව, ‘Horizon Water Villas’ වල 22 sqm ප්‍රමාණයේ පෞද්ගලික පිහිනුම් තටාකයක් සහ හිරු උදාව නැරඹීමටත්, මාලදිවයිනේ දහවල් කාලය නිදහසේ ගත කිරීමටත් සුදුසු පරිදි නිර්මාණය කළ ගැඹුරට නිරාවරණය වූ ආසන (sunken seating) ඇතුලත් පහසුකම් එක් කර ඇත.

“සෑම අංගයක්ම තෝරාගෙන ඇත්තේ එය භූමිය සමඟ බැඳුණු ස්පර්ශයෙන් අත්දැකීමක් ලබා දීම සඳහායි. එමගින් සංචාරකයින් හට සැබෑ සන්සුන්තාවයක් අත්විඳීමට මග සැලසේ,” යනුවෙන් Lee Mcnichol සහ Jose Rivero ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ වඩාත් පිරිසිදු වෙරළ තීරයකට මායිම්ව පිහිටි Sun Siyam Pasikudah, ‘The House of Siyam’ යටතේ පවතින Privé Collection එකට අයත් පැවිලියන් (Pavilion) ආකාරයේ කාමර 34 කින් සමන්විත සුඛෝපභෝගී හෝටලයකි. 2023 නොවැම්බර් මාසයේදී යළි විවෘත කරන ලද මෙම හෝටලය, එහි මුල් ගෘහ නිර්මාණ ශිල්පීය ස්වරූපය ආරක්ෂා කර ගනිමින්, නව වර්ණ සංකල්ප, උපාංග, ගෘහභාණ්ඩ සහ අමතර පහසුකම් එක් කරමින් මුල සිටම ප්‍රතිනිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවේ හොඳම හෝටල් අභ්‍යන්තර නිර්මාණය වෙනුවෙන් පිරිනැමෙන International Property Award සම්මානය, මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පවතින ගැඹුර සහ අඛණ්ඩතාව මනාව තහවුරු කරයි. දේශීය ශිල්පීය හැකියාවන් කෙරෙහි දැක්වූ කැපවීම මෙම නිර්මාණයේ කේන්ද්‍රස්ථානය විය. ශ්‍රී ලාංකික ශිල්පීන් සහ දේශීය දැව නිර්මාණකරුවන් සමඟ එක්ව සිදු කළ මෙම වෙනස්කම් තුළ, දේශීයව නිපදවූ ගෘහභාණ්ඩ, අතින් සාදන ලද ආලෝක උපකරණ සහ ලී නිෂ්පාදන මෙහි අභ්‍යන්තරයට මැනවින් එකතු කර ඇත. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ බාහිරින් ආනයනය කළ අංගවලට වඩා, භූමියේ ස්වභාවිකත්වය සහ ආත්මීය ගුණය හෝටලය තුළට මනාව කැන්දා අද්විතීය අත්දැකීමක් ලබා දීමයි.  හෝටලයේ කාර්ය මණ්ඩලයෙන් ආසන්න වශයෙන් 90%ක් අවට ප්‍රජාවන්ගෙන් බඳවා ගෙන ඇත. මෙම ජයග්‍රහණය හුදු අභ්‍යන්තර නිර්මාණ ශිල්පයකට පමණක් සීමා නොවී, හෝටලයේ දෛනික මෙහෙයුම් සහ ජීවන රටාව දක්වාම විහිදෙන උසස් දර්ශනයක ප්‍රතිඵලයක් වනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව