
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පරිගණක පීඨයේ සිසුන් සිව්දෙනෙකුගෙන් සමන්විත ‘අකුර’ (Akura) කණ්ඩායම, ‘OneEarth’ ජාලය හරහා පවත්වන ලද ‘2026 කෘත්‍රිම බුද්ධි මෙවලම් නිර්මාණ අභියෝගතාවයෙ හි සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත්ව ඇත. ලන්ඩන්හි Goldsmiths විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය මගින් මෙම අතථ්‍ය (virtual) තරගාවලිය සංවිධානය කර තිබුණි. සැබෑ ලෝකයේ පවතින ගැටලුවලට කෘත්‍රිම බුද්ධිය මුල් කරගත් තාක්ෂණික විසඳුම් සෙවීම මෙම තරගයේ අරමුණ වූ අතර, තම සිව්වන වසරේ අධ්‍යයන ව්‍යාපෘතිය ඊට බෙහෙවින් ගැළපෙන බව වටහාගත් ‘අකුර’ කණ්ඩායමට, ඔවුන්ගේ උපදේශක ආචාර්ය දිනුක විජේන්ද්‍ර මහතාගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව හිමි විය.
මිහිරාන් නානායක්කාර, දිනිති පියතිලක, ධුවිඳු රත්නායක සහ රාහුල් නානායක්කාර යන සිසුන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, වයස අවුරුදු 3 ත් 6 ත් අතර පසුවන දරුවන්ට සිංහල භාෂාව ඉගෙනීම පහසු කරවීම සඳහා ජංගම, බහු-ආකෘති (multi-modal) අධ්‍යාපනික වේදිකාවක් නිර්මාණය කර ඇත. කුඩා දරුවන් පරිගණක හෝ ජංගම දුරකථන තිර දෙස බලා සිටීමේ කාලය සීමා කිරීම පිළිබඳව ලෝකය පුරා විවිධ මතභේද පැවතියද, ‘අකුර’ කණ්ඩායමේ ප්‍රවේශය වී ඇත්තේ එම කාලය දරුවන්ට ඵලදායී සහ ඥානාන්විත අයුරින් භාවිත කිරීමට අවස්ථාව සැලසීමයි.
‘අකුර’ කණ්ඩායම සිදුකළ මූලික පර්යේෂණවලට අනුව හෙළි වී ඇත්තේ, දැනට පවතින බොහෝ ඩිජිටල් අධ්‍යාපනික මෙවලම් ගිරා පොතෙන් ඉගෙනීම (rote learning) වැනි කටපාඩම් කිරීමේ ක්‍රමවේදවලට පමණක් සීමා වී ඇති අතර, දැනුම අවබෝධාත්මකව ධාරණය කරගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවයි. ඊට පිළියමක් ලෙස ඔවුන් විසින් අත්අකුරු හැඩගැස්වීමේ මාර්ගෝපදේශ, නිවැරදි උච්චාරණය ඇගයීම, සංඥා ඇසුරින් සංඛ්‍යා හැදෑරීම සහ දරුවාගේ චිත්තවේග හඳුනාගනිමින් ඉගෙනීමේ අවස්ථා සලසන තාක්ෂණය (emotion-aware learning) එකිනෙක මුසු වූ අනුවර්තන මෙවලමක් නිර්මාණය කර ඇත. මේ හරහා එක් එක් දරුවාගේ පෞද්ගලික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි, තත්කාලීන (real-time) අධ්‍යාපනික මගපෙන්වීමක් ලබා දීමට ඔවුන්ට හැකි වී තිබේ.
‘ඇතුළත් කරගත් සහ ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා කෘත්‍රිම බුද්ධිය’ (AI for Inclusive & Quality Education) යන තේමාව යටතේ තරග වැදුණු මොවුන්ට, ක්ෂේත්‍රයේ ප්‍රවීණ ජාත්‍යන්තර විශේෂඥ මණ්ඩලයක් හමුවේ වට දෙකකින් සමන්විත ඉදිරිපත් කිරීම් සිදු කරමින් තම නිර්මාණයෙහි කරුණු පැහැදිලි කිරීමට සිදු විය. cloud පද්ධති, සයිබර් ආරක්ෂණය, උත්පාදක කෘත්‍රිම බුද්ධිය (Generative AI) සහ දත්ත ආරක්ෂණය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයකට මුහුණ දීම ආරම්භයේදී යම් අභියෝගයක් වුවද, පළමු වටයෙන් අනතුරුව තමන්ගේ ආත්මවිශ්වාසය බෙහෙවින් ඉහළ ගිය බව කණ්ඩායම පවසයි. තමන්ගේ නව්‍ය සංකල්පයන් ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන්ගේ ඇගයීමට ලක්වීම තමන්ට මහත් අභිප්‍රේරණයක් සහ ආඩම්බරයක් වූ බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
මේ වසරේ මුල් භාගයේදී ‘අකුර’ කණ්ඩායම ජයග්‍රාහකයන් ලෙස ප්‍රකාශයට පත් කරන විට, එහි සාමාජිකයන් බහුතරයක් SLIIT ආයතනයේ තම අවසාන වසරේ විභාග සඳහා සූදානම් වෙමින් සිටියහ. මෙම විශිෂ්ට ජයග්‍රහණය ඔවුන්ගේ උපාධි පාඨමාලා ඉහළම ප්‍රතිඵල සහිතව නිම කිරීමට මහත් ශක්තියක් වූවා පමණක් නොව, ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සහ අධ්‍යාපනික ආයතන නියෝජනය කළ විනිශ්චයකරුවන් කිහිපදෙනෙකුගෙන් ඉදිරි කටයුතු සඳහා වෘත්තීය උපදේශකත්වය ලබා ගැනීමට ද ඔවුන්ට මෙයින් වටිනා අවස්ථාවක් උදාවිය.


