
උතුම් වූ වෙසක් සැමරුමේ පරාර්ථකාමී අර්ථය පෙරදැරි කර ගනිමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද බනිස් සහ තේ දන්සලක් 2026 මැයි 29 වන දින ඔරුගොඩවත්ත පාලම අසලදී සාර්ථකව පැවැත්විණි. එහිදී වෙසක් සැදැහැවතුන් සහ මහජනතාව වෙනුවෙන් බනිස් 12,500ක් සහ තේ කෝප්ප 12,500ක් පිරිනමමින් සුවිශේෂී ප්‍රජා සත්කාරයක නිරත වීමට සමාගම කටයුතු කළේය.
මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ වැඩමවීම මධ්‍යයේ මෙම දන්සල ආරම්භ වූයේ, වෙසක් උත්සවය කියාපාන කරුණාව, ත්‍යාගශීලීභාවය සහ පරාර්ථකාමීත්වය වැනි උදාර මානුෂීය වටිනාකම් මැනවින් පිළිඹිබු කරමිනි. සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් කණ්ඩායමේ සාමූහික කැපවීම සහ එකමුතුකම මත ක්‍රියාවට නැංවුණු මෙම සත්කාරය, උතුම් වූ වෙසක් පොහෝ දිනය සමරන සැදැහැවතුන්ට සහ සමස්ත ප්‍රජාවට උපකාර කිරීමේ උදාර අරමුණින් සංවිධානය කර තිබුණි.

මෙම සත්කාරය තුළින් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම පෙන්වා දෙන්නේ, පෝෂණය යනු හුදෙක් ආහාරවලට පමණක් සීමා වූවක් නොවන බවයි. සැබෑ පෝෂණය යනු අප අතර බෙදාගන්නා කරුණාව, ගොඩනඟන සබඳතා සහ ප්‍රජාව නඟාසිටුවීම තුළින් අත්වන්නක් බව ආයතනය දැඩිව විශ්වාස කරයි. “දේශය පෝෂණය කිරීම” යන සිය ආයතනික අභිමතාර්ථය පෙරදැරි කර ගනිමින්, මෙවැනි අර්ථවත් සමාජ සත්කාරයන් තුළින් පෝෂණය සපිරි අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සමාගම නිරන්තරයෙන් කැපවී සිටියි.


