
SLT-MOBITEL කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන SLT-MOBITEL Games 2026 ඇරඹේ
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත SLT-MOBITEL Games 2026 තරගාවලියේ දියත් කිරීමේ උත්සවය පසුගියදා SLT ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ආයතනය තුළ එකමුතු බව, කණ්ඩායම් හැඟීම සහ ක්‍රීඩාශීලීත්වය කුළුගන්වන සුවිශේෂී තරගාවලියක් වන මෙහි ඉලක්කය වන්නේ, ක්‍රීඩාව ඔස්සේ පොදු අරමුණක් වෙනුවෙන් කාර්ය මණ්ඩලය එකමුතු කරමින් ඔවුන් අතර සුහදත්වය වර්ධනය කිරීමය.
මෙම සමාරම්භක උත්සවයට SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා සහ SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවන් සහ තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙහිදී SLT-MOBITEL Games කුසලානය එළිදැක්වීම, කණ්ඩායම් හඳුන්වාදීම සහ තරගාවලිය පිළිබඳ අදහස් දැක්වීමද සිදුකරන ලදි.
තමන් සතු විශාලම ශක්තිය තම කාර්ය මණ්ඩලය බව SLT-MOBITEL දැඩි ලෙස විශ්වාස කරයි. MOBITEL Games 2026 යනු මෙම විශ්වාසය ඔස්සේ ඔවුන් අතර සුහදත්වය වර්ධනය කරමින්, ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින්, ඔවුන්ට එකම පවුලක් ලෙස එක්ව විනෝද වීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී තරගාවලියකි. මෙමඟින් කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම, සහයෝගීත්වය, සමානාත්මතාව සහ විනය වැඩිදියුණු වනු ඇති අතර, ආයතනය තුළ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, ගෞරවය සහ විශිෂ්ටත්වය වර්ධනය වනු නිසැකය.
මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ SLT සමූහයේ නියෝජිතයන්ගෙන් සමන්විත 2026/27 SLT-MOBITEL ක්‍රීඩා කවුන්සිලය මඟිනි. තරගාවලියේ සියලු ඉසව් සම්බන්ධීකරණය කරමින්, කණ්ඩායම්වලට අවශ්‍ය සහයෝගය ලබාදීමට එම කවුන්සිලය පියවර ගනු ඇත. මෙම තරගාවලියට සහභාගී වීම සඳහා සමූහයේ සාමාජික සාමාජිකාවන් සහ ක්‍රීඩා සමාජ දිරිගන්වමින් එය සාර්ථක කරගැනීම සඳහා එම කවුන්සිලය සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී.
මෙම තරගාවලියට මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, කැරම්, චෙස්, ක්‍රිකට්, පාපන්දු, පිහිනුම්, වොලිබෝල් සහ නෙට්බෝල් ඇතුළු ජනප්‍රිය ක්‍රීඩා රැසක් ඇතුළත් වන අතර, SLT කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම් 20 ක් ඊට සහභාගී වනු ඇත. තරගාවලිය පුරාවටම ඉතාමත් උණුසුම් තරග රැසක් දැකගැනීමට කාටත් අවස්ථාව හිමි වනු නිසැකය.



