සෙලාන් බැංකුව 2025 වසරේ රු. බිලියන 12.1 ක වාර්තාගත බදු පසු ලාභයක් අත්කරගනී

Image - Sinhala
  • ආදායම් බදුවලට පෙර ලාභය රු. බිලියන 19.6 දක්වා 22.3% කින් ඉහළට
  • බදු පසු ලාභය රු. බිලියන 12.1 දක්වා 20.5% කින් ඉහළට
  • සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 921 දක්වා 18% කින් වර්ධනය වෙයි.
  • හිමිකම් මත ප්‍රතිලාභ (ROE) 89%
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 17.89%
  • හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.03%

සෙලාන් බැංකුව 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇති අතර, එම ප්‍රතිඵල අනුව බැංකුවේ ලාභදායීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ. බැංකුවේ බදු පෙර ලාභය රු. බිලියන 19.6 ක් වූ අතර, එය පෙර මූල්‍ය වර්ෂයේ වාර්තා වූ රු. බිලියන 16.0 ට සාපේක්ෂව 22.3% ක වර්ධනයකි. මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළ බැංකුවේ බදු පසු ලාභය රු. බිලියන 12.1 ක් වූ අතර, එය පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 10.0 ට සාපේක්ෂව 20.5% ක වර්ධනයකි. රු. බිලියන 12.1 ක් වූ මෙවර බදු පසු ලාභය සෙලාන් බැංකුව සිය වසර 37 ක ඉතිහාසය තුළ වාර්තා කළ ඉහළම බදු පසු ලාභය ලෙස සැලකේ. මෙය සෙලාන් බැංකුවේ තිරසාර වර්ධනය සහ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය මැනවින් පිළිබිඹු කරන සාධකයකි.




මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය

2024 වසරේදී රු. බිලියන 36.7 ක් වූ ශුද්ධ පොලී ආදායම 2025 වසරේදී රු. බිලියන 38.3 දක්වා 4.21% ක් වැනි සාමාන්‍ය මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර, නිකුත් කළ ණය ප්‍රමාණය වර්ධනය වීම, වෙළඳපොළේ පොලී අනුපාත පහළ යාම සහ ණය, තැන්පතු හා රජයේ සුරැකුම්පත් ප්‍රතිමිලකරණය කිරීම යනාදිය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකයද 2024 වසරේදී වාර්තා වූ 4.90% ට සාපේක්ෂව 2025 වසරේදී 4.50% දක්වා සාමාන්‍ය වශයෙන් පහළ ගොස් තිබේ. බැංකුවේ ගාස්තු පදනම් කරගත් ආදායම රු. බිලියන 7.2 සිට රු. බිලියන 8.3 දක්වා 16.34% කින් වර්ධනය වී ඇති අතර, කාඩ්පත්, ප්‍රේෂණ, වෙළඳ සේවා සහ අනෙකුත් මූල්‍ය සේවා මගින් ලැබුණු ගාස්තු ආදායම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම 2024 වසරේ වාර්තා වූ රු. බිලියන 42.6  ට සාපේක්ෂව 2025 වසරේදී 13.00% කින් ඉහළ ගොස් රු. බිලියන 48.1 ක් ලෙස වාර්තා වී තිබේ. ගාස්තු පදනම් කරගත් ආදායම්, ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සහ වෙනත් මෙහෙයුම් ආදායම් ඉහළ යාම  මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

සමස්ත මෙහෙයුම් පිරිවැය 2024 වසරේදී වාර්තා වූ රු. බිලියන 19.7 ට සාපේක්ෂව 2025 වසරේදී රු. බිලියන 21.4 දක්වා 8.53% කින් වර්ධනය වී තිබේ. කාර්ය මණ්ඩලය සම්බන්ධ වියදම් ඉහළ යාම හේතුවෙන් මානව සම්පත් පිරිවැය රු. බිලියන 10.2 සිට රු. බිලියන 11.3 දක්වා 10.40% කින් ඉහළ ගොස් ඇත. අදාළ කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා මිලගණන් ඉහළ යාම හේතුවෙන් වෙනත් මෙහෙයුම් පිරිවැය සහ ක්ෂය වීම් පිරිවැයද 6.54% කින් ඉහළ ගොස් තිබේ. විවිධ පිරිවැය පාලන ක්‍රමවේදයන් ඔස්සේ මෙම පිරිවැය අවම කිරීම සඳහා බැංකුව පියවර ගනිමින් සිටී.

2024 වසරේ වාර්තා වූ රු. බිලියන 6.3 ට සාපේක්ෂව 2025 වසරේදී බැංකුවේ ණය හා අත්තිකාරම් හානිකරණ වියදම රු. බිලියන 0.6 දක්වා විශාල ලෙස අඩු වී තිබේ.  මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් බව සහතික කිරීම සඳහා බැංකුව විසින් ගෝලීය සහ දේශීය ආර්ථිකයේ වෙනස්කම්, ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ ගුණාත්මකභාවය ග්‍රහණය වන පරිදි හානිකරණ ණය ප්‍රතිපාදන සලසා ඇති බවට සහතික කරගැනීමට පියවර ගෙන ඇත. බැංකුවේ වත්කම් ගුණාත්මකභාව අනුපාත වන හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.03% ක් වූ අතර (2024 – 2.10%), අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2025 දෙසැම්බර් 31 දින වන විට 86.33% ක් ලෙස බැංකු ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමක පැවතිණි.

ආදායම් බදු පිරිවැය පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 6.0 ට සාපේක්ෂව 20.47% කින් ඉහළ ගොස් රු. බිලියන 7.5 ක් ලෙස වාර්තා විය. මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බද්ද 2024 වසරේ වාර්තා වූ රු. බිලියන 4.7 සිට රු. බිලියන 5.6 දක්වා 17.69% කින් ඉහළ ගොස් තිබේ. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රු. බිලියන 0.7  සිට රු,. බිලියන 0.8 දක්වා ඉහළ ගිය අතර මෙය පෙර වසරට සාපේක්ෂව 17.70% ක වර්ධනයකි.

2025 වසර සඳහා බැංකුව රුපියල් බිලියන 12.1 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කළ අතර එය 2024 වසරට සාපේක්ෂව 20.47% ක වර්ධනයක් පිළිබිඹු කරයි. කෙසේ වෙතත්, SLISB ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම සහ 2024 දී එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ආපසු හැරවීමේ බලපෑම සඳහා සිදු කළ යුතු ගැලපීම්වලින් අනතුරුව, 2025 සඳහා සත්‍ය ලාභ වර්ධනය 32.78% ක් වනු ඇත.

 

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම 2024 වසරේ වාර්තා වූ රු. බිලියන 780  සිට 2025 වසරේ මාස 12 අවසානයේදී දී රු. බිලියන 921දක්වා ස්ථාවර වර්ධනයක් අත්කරගෙන තිබේ. එමෙන්ම තම ගනුදෙනුකරුවන් එලෙසින්ම රඳවාගන්නා අතරම බැංකු ණය සහ තැන්පතු සේවාවන් ඔස්සේ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමටද බැංකුව පියවර ගෙන ඇත. බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. බිලියන 137 ක ශුද්ධ වර්ධනයක් වාර්තා කරමින් රු. බිලියන 600 ක් ලෙස වාර්තා වී ඇති අතර, තැන්පතු රු. බිලියන 86 ක ශුද්ධ වර්ධනයකින් අනතුරුව රු. බිලියන 733 ක් ලෙස වාර්තා වී තිබේ. ස්ථාවර සහ පිරිමැසුම්දායක අරමුදල් සම්පාදනයක් සහතික කරමින් සිය ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA Ratio) 30% මට්ටමේ පවත්වා ගැනීමට බැංකුව සමත් විය.

 

ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක

සෙලාන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක 2025 දෙසැම්බර් 31 දින වන විට යහපත් මට්ටමක පැවතුණු අතර, ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පැහැදිලි ලෙසම නියාමන අවශ්‍යතාවන්ට ඉහළින් පැවතිණි. බැංකුවේ පොදු හිමිකම් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (Common Equity Tier 1 Capital Ratio & Total Tier 1 Capital Ratio) 12.39% ක් සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය (Total Capital Ratio) 17.89% ක් වූ අතර, එය ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් බැංකුව සතු බවට මනා සාක්ෂියකි.

ද්‍රවශීලතා ආවරණ අනුපාත ව්‍යවස්ථාපිත මට්ටම්වලට වඩා ඉහළ අගයක පවත්වා ගැනීමටද බැංකුවට හැකියාව ලැබිණි. සියලු විනිමය වර්ග ද්‍රවශීලතා ආවරණ අනුපාතය 229.92% ක් වූ අතර, රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය 227.99% ක් විය.

බැංකුවේ වත්කම් ගුණාත්මක භාවයේ අනුපාතයන් වන අදියර 3 හානිකරණ ණය අනුපාතය (Impaired Loan Ratio – Stage 3) සහ අදියර 3 හානිකරණ ප්‍රතිපාදන ආවරණ අනුපාතය (Impairment Stage 3 Provision Cover Ratio) පිළිවෙළින් 1.03% (2024 – 2.10%) සහ 86.33% (2024- 81.79%) ක් විය.

මෙම සමාලෝචනයට අදාළ වර්ෂය තුළ සෙලාන් බැංකුවේ හිම්කම් මත ප්‍රතිලාභය 15.89% (2024 – 15.35%) ක් වූ අතර, සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර ලාභය) 2.31% (2024 – 2.14%) ක් විය.

බැංකුවේ කොටසක් සඳහා ඉපැයුම 2024 වසරේ රු. 15.81 ක් වූ අතර, එය 2025 වසරේ රු. 19.05 ක් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම 2025 දෙසැම්බර් 31 දින වන විට රු. 128.87 ක් (සමූහයේ රු. 132.33 ක්) විය.

2025 වසරේ සෙලාන් බැංකුව විසින් විවෘත කරන ලද ‘සෙලාන් පැහැසර’ පුස්තකාල සංඛ්‍යාව 24 කි. ඒ අනුව දැන් දිවයින පුරා විවෘත කර ඇති සෙලාන් පැහැසර පුස්තකාල සංඛ්‍යාව 289 ක් බවට පත් වී තිබේ. මෙය දිවයින පුරා අඩු පහසුකම් සහිත පාසල්වල පුස්තකාල ගොඩනැංවීම තුළින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියකි.

ප්‍රාග්ධන ප්‍රමාණතා (Basel III) අනුකූල 2 වන මට්ටමේ ලැයිස්තුගත ශ්‍රේණිගත, සුරැකුම් නැති, යටත්, නිදහස් කළ හැකි, වසර 5 සහ වසර 10 බැගින් වූ ණයකර නිකුතුවක් තුළින් රු. බිලියන 15 ක් රැස්කර ගැනීමට සෙලාන් බැංකුව 2025 ජූලි 09 දින සමත් වූ අතර, මෙම ණයකර නිකුතුවට පළමු දිනයේදීම අධි-දායකත්වයක් ලැබිණි.

ෆිච් ශ්‍රේණිගත කිරීම් (Fitch Ratings) මගින් සෙලාන් බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය පියවර දෙකකින්, එනම් ස්ථාවර ප්‍රතිරූපය (Stable Outlook) සමග ‘A+(lka)’ දක්වා 2025 වර්ෂය තුළ උසස් කරන ලදී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව