සෙලාන් බැංකුව ‘අත හිත’ ණය යෝජනා ක්‍රමය යටතේ කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් රු. බිලියන 1.2 ක මුදලක් නිකුත් කරයි

Image (LBN)

සෙලාන් බැංකුව ‘අත හිත’ ණය යෝජනා ක්‍රමය යටතේ 2025 වසර තුළ මෙරට කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් රු. බිලියන 1.2 ක මුදලක් නිකුත් කළේය. ජාතික ආර්ථික පුනර්ජීවන දැක්ම යටතේ මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැවත බලගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් මෙම ණය ක්‍රමය සඳහා අරමුදල් සපයනු ලබයි.




රටේ විවිධ ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා සහනදායී ණය ක්‍රමයක් ලෙස, මුදල් අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව මෙම ණය ක්‍රමය ආරම්භ කරන ලදී. මේ යටතේ සෙලාන් බැංකුව විසින් 2025 වසරේදී ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය මූලික කරගත් නිර්ණායක මත පදනම්ව, රු. මිලියන 400 බැගින් වූ අදියර තුනක් යටතේ, ගණුදෙනුකරුවන් 90 ක් සඳහා රු. බිලියන 1.2 ක මුදලක් නිකුත් කරන ලදී.

මේ ආකාරයට නියමිත කාලසීමාව තුළ අදියර 3 ක් යටතේ රු. බිලියන 1.2 ක සම්පූර්ණ ණය මුදල නිකුත් කිරීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි. සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී සෙලාන් බැංකුව පෙන්නුම් කරන කාර්යක්ෂමතාව මෙන්ම, රටේ ආර්ථිකයේ තීරණාත්මක බලවේගයක් වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල යහපත සම්බන්ධයෙන් බැංකුව දක්වන උනන්දුව මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.

2025 වසර තුළ ඉලක්කගත ණය මුදල නිකුත් කිරීම හේතුවෙන්, 2026 වසරේ ‘අත හිත’ ණය ක්‍රමයේ පළමු අදියරේ ණය නිකුත් කිරීම සඳහා රු. බිලියනයක මුදලක් දැනටමත් සෙලාන් බැංකුව වෙත ලැබී ඇත. මෙමඟින් රට පුරා විසිරී පවතින තවත් කුඩා පරිමාණ ව්‍යාපාර රැසකට අත්වැලක් වීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබෙනු ඇත.

සෙලාන් ‘අත හිත’ ණය ක්‍රමය යටතේ සුදුසුකම් ලත් ව්‍යාපාරවලට වාර්ෂිකව 5% ක සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 25 ක් දක්වා ණය පහසුකම් ලබාගත හැකි වේ. මෙම අනුපාතය මීට පෙර පැවතියේ 7% ක් වශයෙනි. කුඩා පරිමාණ ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ දීර්ඝකාලීන ආයෝජන අවශ්‍යතා සපුරාලීම සඳහාම මෙම ණය ක්‍රමය සැලසුම් කර තිබේ. මේ යටතේ  වසර 3 ක කාලසීමාවක් සඳහා කාරක ප්‍රාග්ධන ණය ලබාගත හැකි අතර, මුළු ණය මුදලින් 40% ක් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහාත්, ඉතිරිය ආයෝජන සඳහාත් වෙන් කළ හැක. ආයෝජන සහ ඉදිකිරීම් සම්බන්ධ ක්‍රියාකාරම් සඳහා, අවශ්‍ය නම් වසරක සහන කාලයක් සහිතව වසර 10 ක් සඳහා ණය පහසුකම් ලබාගත හැකි වේ.

මෙම වැඩසටහන යටතේ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, එබඳු ව්‍යාපාර වෙනුවෙන් විශේෂ ණය ඇපකර යාන්ත්‍රණයක්ද හඳුන්වා දී ඇත. මේ යටතේ සුදුසුකම් ලබන ව්‍යාපාරවලට 80% ක ණය ඇපකර ආවරණයක් හිමි වන අතර, ඒ සඳහා අදාළ වනුයේ සාමාන්‍ය අනුපාතයට වඩා 0.5% – 1.25% අඩු අනුපාතයකි. මෙම ණය පහසුකම සඳහා අදාළ ව්‍යාපාර කාන්තාවන්ගේ පූර්ණ හෝ බහුතර හිමිකාරීත්වය, කළමනාකාරීත්වය හෝ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය යටතේ පැවතීම ඇතුළුව නිසි නිර්ණායක සපුරාලිය යුතුය. වෙළඳාම (Trading), කල්බදු (Leasing) සහ කුලියට දීමේ (Renting) ව්‍යාපාර කටයුතුවල නියුතු සමාගම් මේ සඳහා සුදුසුකම් නොලබයි.

සෙලාන් ‘අත හිත’ ණය ක්‍රමය නිෂ්පාදන, ඉදිකිරීම්, අපනයන මූලික කරගත් කර්මාන්ත, සංචාරක සේවා, ඇඟලුම්, ධීවර කටයුතු, සත්ව පාලනය, කෘෂිකර්මාන්තය සහ කෘෂි මූලික ව්‍යාපාර වැනි ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන එම කාණ්ඩයේ ව්‍යාපාර සඳහා විවෘත වේ. මෙම ව්‍යාපාර වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 1,000 ට අඩු වීම, ස්ථිර සේවකයන් සංඛ්‍යාව 200 ට අඩු වීම සහ වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් තිබීම යන සුදුසුකම්ද සපුරාලිය යුතුය.

සෙලාන් බැංකුව මීට පෙරද මෙරට කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සහනදායී මූල්‍ය පහසුකම් සැපයීම සහ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් යුත් ව්‍යාපාරවලට අත්වැලක් වීම ඔස්සේ තිරසාර සහ සැමට ප්‍රතිලාභ හිමි වන ආර්ථික වර්ධනයක් සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කර තිබේ. ‘අත හිත’ ණය යෝජනා ක්‍රමය මෙම මෙහෙවරෙහි තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැක.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව