නිව් ඇන්තනීස් ෆාම්ස් සමූහය, ශ්‍රී ලංකාව තුළ ප්‍රතිජීවකවලින් තොර මාංශ නිෂ්පාදනයට පෙරමුණ ගනිමින් සිය 40 වසරක අභිමානවත් ගමන්මඟ සමරයි

xr:d:DAFfIdCAMhM:4,j:2116518008,t:23040409

ශ්‍රී ලංකාවේ සියයට සියයක්ම ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදනයේ යෙදෙන එකම සමාගමවන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම සිය 40වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. වර්ෂ 1986දී සමූහයේ සභාපති එමිල් ස්ටැන්ලි මහතා සහ ඔහුගේ බිරිඳවන (අධ්‍යක්ෂිකා) එස්.එම්. ඩී. මේරි සීතා ලක්ෂ්මි මහත්මිය විසින් කුඩාවට ආරම්භ කරන ලද ව්‍යාපාරය මේ වනවිට ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම කුකුළුමස් නිෂ්පාදකයා දක්වා දිගු ගමනක නිරතවීමට සමත්ව තිබේ.




කුකුළු පැටවුන් 1000කගෙන් ආරම්භ වූ නිව් ඇන්තනීස් සමූහය පාරිභෝගිකයා කේන්ද්‍රකරගනිමින් පියවරෙන් පියවර දියුණු වීය. ක්‍රම ක්‍රමයෙන් තම ගොවිපල මෙහෙයුම් පුළුල් කළ සමාගම, සැකසුම් පහසුකම් ඉදිකිරීමටත්, ශීතාගාර කාමර ස්ථාපිත කිරීමටත්, සහ ආහාර මෙහෙයුම් සංවර්ධනය කිරීමටත් ක්‍රියාකළේ ඒ සෑම පියවරකදීම පාරිභෝගිකයාට සවන් දීමෙන්, ඔවුන්ට අවශ්‍ය දේ මැනවින් වටහාගනිමිනි. මෙම පාරිභෝගික කේන්ද්‍රී ප්‍රවේශයේ ප්‍රතිඵලයක් ලෙස සිය ‘හරිතහරි නිෂ්පාදන පෙළ මෙන්ම Crizzpys සහ Frenchys නිෂ්පාදන පෙළ ද, Meatlery අලෙවි ජාලයද, Dorakadapaliya දිවයින පුරා විහිදුණු නොමිලේ බෙදාහැරීමේ සේවාව ද හඳුන්වාදීමට නිව් ඇන්තනීස් සමූහයට හැකිවිය.

එහිම දිගුවක් ලෙස 2025 නොවැම්බර් මාසයේදී Chicken Havens නාමය යටතේ ඉහළ ගුණාත්මකබවින් යුතු නව නිෂ්පාදන වර්ග අටක් වෙළෙඳපොළට හඳුන්වාදීමට ද සමාගම පියවර ගත්තේය. වෘත්තීය මට්ටමේ ආහාර පිසීම සඳහා එනම්, අවන්හල් සහ හෝටල් ආදියට මාංශ නිෂ්පාදන සැපයීම සඳහා සුදුසු ප්‍රමිතියේ එම නිෂ්පාදන පෙළ හරහා ද වසර 40ක් පුරාවට නිව් ඇන්තනීස් සමූහය සිය නිෂ්පාදනවල ප්‍රමිතිය සහ ගුණාත්මකබව වෙනුවෙන් දක්වන ඉහළ අවධානය කැපීපෙනේ.

″කුකුළු පැටවුන් 1000ක් සහ ශ්‍රී ලාංකිකයින්ට වඩාත් හොඳ මාංශ ආහාර සැපයීමේ දැඩි වුවමනාවත් සමඟ ආරම්භ වූ අපගේ ව්‍යාපාරය මගින් තිරසර මාංශ ආහාර නිෂ්පාදනයේ ආදර්ශ මොඩලයක් බිහිකිරීමට අප සමත්ව තිබෙනවා. අපගේ මෙම සාර්ථකත්වය තුළින් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවට මෙන්ම ඉදිරි පරම්පරාව ද ඇතුළු සමස්ත මහජන සෞඛ්‍යයටත් ප්‍රතිලාභ සැලසෙනවා. අපි සෑමවිටම පාරිභෝගිකයින්ට සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව හැඩගැහෙමින් ව්‍යාපාරය ඉදිරියට ගෙනඒමට සමත්වුණා″, යනුවෙන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එමිල් ස්ටැන්ලි මහතා ප්‍රකාශ කළේය.

මෙම පාරිභෝගික නැඹුරුව මෙරටදී ලබාගත හැකි ඉහළම ඇගයුම් සහ ප්‍රමිති සහතිකවලින් ද සනාථ වී තිබේ. 26වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සැකසූ මාංශ ආහාර කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස සම්මාන ලබාගැනීමට  නිව් ඇන්තනීස් සමූහයට හැකිවිය. තව ද FSSC 22000 සහතිකය ලත් ශ්‍රී ලංකාවේ පළමු මාංශ ආහාර නිෂ්පාදකයා නිව් ඇන්තනීස් වන අතර, ISO 14064-1:2018 ප්‍රමිති සහතිකය යටතේ හරිතාගාර වායු විමෝචන සහතික ලත් ශ්‍රී ලංකාවේ එකම මාංශ ආහාර නිෂ්පාදකයා ද වේ. තව ද තිරසර ලෙස සත්ත්ව ආහාර සපයාගැනීම වෙනුවෙන් හිමිවන “Sustainable U.S. Soy” ලේබලය හිමි දකුණු ආසියාවේ සහ උපසහරානු කලාපයේ එකම සමාගම වන්නේ ද නිව් ඇන්තනීස් සමූහයයි. සියයට සියයක්ම ස්වභාවිකව දිරාපත්වන, ශාක භාවිතයෙන් නිර්මාණය කළ ඇසුරුමක් යොදාගන්නා හරිතහරි මාංශ නිෂ්පාදන පෙළ ද වෙළෙඳපොළට හඳුන්වාදීම ද නිව් ඇන්තනීස් ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

″අපගේ 40 වසරක සාඩම්බර ගමන්මඟ තුළ කැපීපෙනෙනම සාධකය වන්නේ  සෞඛ්‍යාරක්ෂිත කුකුළුමස් සපයමින් අඛණ්ඩව පාරිභෝගික සේවාව වෙනුවෙන් කැපවීමයි. අපි තවදුරටත් පාරිභෝගිකයාට සවන් දෙමින් නිෂ්පාදන, බෙදාහැරීම් සහ නවෝත්පාදන අංශයන්හි නව සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ සෑම සැලසුමකදීම අපි ගුරුකොට ගන්නා එක් ප්‍රධාන ප්‍රතිපත්තියක් වන්නේ ශ්‍රී ලාංකික පවුල්වලට සෞඛ්‍යාරක්ෂිත සහ ඉහළම ගුණාත්මකබවින් යුතු මාංශ ආහාර සැපයීමේ පොරොන්දුවයි″, යනුවෙන් නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසුවේය.

මේ අතර GMP, HACCP, ISO 22000 සහතික සහ දෙස් විදෙස් හලාල් සහතික ද සමාගම සතු ය වන අතර අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළුමස් කවුන්සිලය හඳුන්වාදී ඇති සත්ත්ව සුබසාධන ප්‍රමිතීන් ද සමාගම මැනවින් අනුගමනය කරයි. තම නිෂ්පාදනවල ගුණාත්මකභාවය ගැන තවදුරටත් වගවෙමින් 2023 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රකට සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගමක්වන Gold Coin Feed Mills සමාගම මිලදීගැනීමට ද නිව් ඇන්තනීස් සමූහය ක්‍රියාකළේය.

තව ද හුදෙක් සෞඛ්‍යාරක්ෂික කුකුළුමස් නිෂ්පාදන ශ්‍රී ලාංකික පවුල් වෙත සැපයීමේ කාර්යයභාරයෙන් ඔබ්බට ගොස් ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ මහජන දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ මෙහෙයුමකට ද නිව් ඇන්තනීස් මුලපුරා තිබේ. ″මේරි සහ මම ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ දැනුවත් වූ වහාම අපි කල්පනා කළේ ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදනයට අමතර කාර්යයභාරයක් අප සතු බවයි″, යනුවෙන් සභාපති එමිල් ස්ටැන්ලි මහතා පවසයි. 2025 වසරේ ගෝලීය ප්‍රතිජීවක ප්‍රතිරෝධී සතිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය, ප්‍රතිපත්ති සම්පාදකයින්, සෞඛ්‍ය වෘත්තීකයින් සහ විශේෂඥයින් එකතුකරගනිමින් විශේෂ සංවාද මණ්ඩපයක් නිර්මාණය කිරීමට සමාගම පෙරමුණ ගත්තේය. එමෙන්ම වාර්ෂිකව ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ සේවක දැනුවත් කිරීම් මෙන්ම පාසල් සහ විශ්ව විද්‍යාල ඉලක්ක කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට ද සමාගම කැපවී සිටී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව