කොළඹ වරාය නගරයට වසර 11ක් සපිරෙයි: ඉදිරි ප්‍රගතිය වෙනුවෙන් ව්‍යාපෘතියේ මූලික සංවර්ධකයා සිය කැපවීම යළි තහවුරු කරයි

3-min (LBN)

කොළඹ වරාය නගරයේ මූලික සංවර්ධකයා වන CHEC Port City Colombo (Pvt) Ltd, ව්‍යාපෘතියේ ඉදිරි සංවර්ධන කටයුතු සහ වාණිජ මෙහෙයුම්වල නව යුගයකට පිවිසෙමින්, ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, යටිතල පහසුකම් සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයන් සපුරාලීමටත් ඇති කැපවීම යළිත් සහතික කරයි.

“2014 වසරේ ආරම්භයේ සිටම කොළඹ වරාය නගරයේ උපායමාර්ගික දැක්ම සැමවිටම යොමු වූයේ ශ්‍රී ලාංකිකයන්ගේ යහපත මෙන්ම සහ මෙරට ආර්ථිකයේ අභිවෘද්දිය උදෙසායි,” යනුවෙන් CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ ෂියොන් හොංෆෙන්ග් (Mr. Xiong Hongfeng) මහතා ප්‍රකාශ කළේය. හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම දැවැන්ත ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ ප්‍රමුඛතම කලාපීය බලවතෙකු වීමට ශ්‍රී ලංකාව සතු විභවය පිළිබඳ මූලික සංවර්ධකයා තුළ ඇති විශ්වාසය මැනවින් පිළිබිඹු කරන බවත්, එමගින් සියලුම ශ්‍රී ලාංකිකයන් අපේක්ෂා කරන සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




ජාතික මෙන්ම කලාපීය වශයෙන් සුවිශේෂී වැදගත්කමක් උසුලන ව්‍යාපෘතියක් ලෙස, කොළඹ වරාය නගරය විවිධ අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ නොසැලී ඉදිරියට යාමට සමත්ව ඇත. වසර 11ක සිය ගමන් මග තුළ දේශපාලනික වෙනස්කම්, 2019 පාස්කු ඉරු දින ප්‍රහාරය, කොවිඩ්-19 ගෝලීය වසංගතය මෙන්ම 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය වැනි විවිධ බාධකයන්ට මුහුණ දීමට කොළඹ වරාය නගරයට සිදු විය. එවැනි අහිතකර තත්ත්වයන් මධ්‍යයේ වුවද, දකුණු ආසියාවේ පරිවර්තනීය ලෝක මට්ටමේ ආයෝජන කලාපයක් බවට පත්වීමේ සිය උපායමාර්ගික අරමුණෙහි ව්‍යාපෘතිය ස්ථාවරව රැඳී සිටියි. චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) අනුබද්ධිත ආයතනයක් ලෙස, මෙරට දිගුකාලීන ආර්ථික සංවර්ධනයට සහය වීමට මෙම මූලික සංවර්ධකයා නිරන්තරයෙන් බැඳී සිටියි.

2019 වසරේදී සාර්ථකව නිම කරන ලද භූමිය ගොඩකිරීමේ කටයුතුවලින් පසුව, කොළඹ වරාය නගරය කලාපීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස තහවුරු කෙරෙන සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක් පසුකර ඇත. ඒ අතර, 2021 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද්විපාර්ශ්වික සහයෝගය ඇතිව සම්මත කරන ලද ‘කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිළිබඳ පනත’ ඉන් ප්‍රධාන වේ. මෙමගින් ස්ථාපිත කරන ලද කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය (SEZ), ජාත්‍යන්තර ආයෝජකයින්ට ව්‍යාපාර කිරීමේ පහසුව සැලසෙන පරිදි ප්‍රගතිශීලී නියාමන වටපිටාවක් නිර්මාණය කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස නවීනතම සේවා අපනයනය වෙනුවෙන් කැප වූ ව්‍යවසායන් 146ක් ලියාපදිංචි වී ඇති අතර, එය සක්‍රීය ව්‍යාපාරික පරිසර පද්ධතියක වර්ධනයට මග පාදා තිබේ.

2025 ඔක්තෝබර් 17 වන දින, යටිතල පහසුකම් සංවර්ධනයේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින්, ජලය, විදුලිය සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති ඇතුළු සියලුම පොදු උපයෝගිතා සේවාවන් කොළඹ ප්‍රධාන නගර ජාලය හා සම්බන්ධ කළ බව කොළඹ වරාය නගරය නිල වශයෙන් නිවේදනය කළේය. මෙම වර්ධනය ව්‍යාපෘතියේ පූර්ණ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමේ තීරණාත්මක පියවරක් වන අතර, ගොඩනැගිලි සංවර්ධන කටයුතු සහ මහා පරිමාණ ව්‍යාපාරික ක්‍රියාකාරකම් සඳහා කොළඹ වරාය නගරය සතු සූදානම ඉන් තහවුරු වේ. මෙයට සමගාමීව, දකුණු ආසියාවේ ප්‍රථම තීරුබදු රහිත නගරාන්තර (downtown duty-free) වෙළඳ සංකීර්ණය වන ‘The Mall’ 2024 සැප්තැම්බර් මාසයේදී විවෘත කරන ලද අතර, එමගින් කොළඹ නගරය කලාපීය සාප්පු සවාරි සහ විනෝදාත්මක ගමනාන්තයක් ලෙස තවදුරටත් ස්ථාපිත විය.

තවද, කොළඹ වරාය නගරයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ උද්‍යානය හා ‘ව්‍යාපාරික මධ්‍යස්ථානයේ’ (Business Centre at Port City Colombo) ඉදිකිරීම් 2024 මාර්තු මාසයේදී ආරම්භ වූ අතර, 2025 මැයි මස අග සිට එහි කාර්යාල පරිශ්‍රයන් අදාළ ආයතනයන් වෙත ලබා දීම ආරම්භ විය. මීට අමතරව, LOLC සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශය වන Browns Investment PLC විසින් සිදු කරනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක සුඛෝපභෝගී යාත්‍රා අංගණ ව්‍යාපෘතියේ (Luxury Marina) ඉදිකිරීම් 2025 ජනවාරි 10 වන දින ආරම්භ විය. වසර 3ක් තුළ නිම කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය තුළ යාත්‍රා 200ක් පමණ නැංගුරම් ලෑමේ පහසුකම් සහ උසස් ජීවන රටාවකට ගැළපෙන වෙළඳ පරිශ්‍රයන් ඇතුළත් වේ.

මේ වන විට කොළඹ වරාය නගරය ගොඩනැගිලි සංවර්ධන ව්‍යාපෘති කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1කට අධික ආයෝජනන් ආකර්ෂණය කර ගෙන ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් ‘උපායමාර්ගික වැදගත්කමක් සහිත ප්‍රාථමික ව්‍යාපාර’ (BSI) ලෙස නිල වශයෙන් නම් කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව මේ වන විට 27ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව, ජාත්‍යන්තර රෝහලක්, ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් සහ ජාත්‍යන්තර පාසලක් සඳහා වෙන් කර ඇති භූමි කොටස් සඳහා ආයෝජකයින් සොයා ගැනීමේ කටයුතු ද කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් මේ වන විටත් ක්‍රියාත්මක වේ.

කොළඹ වරාය නගරය යනු පරම්පරා ගණනාවකට ප්‍රතිලාභ සලසන සුවිශේෂී අවස්ථාවකි. CHEC Port City Colombo (Pvt) Ltd අනාගතයේදී තවත් ජයග්‍රහණ කරා ගමන් කිරීමට බලාපොරොත්තු වන අතර, ශ්‍රී ලංකාව කලාපීය ව්‍යාපාරික, විනෝදාත්මක සහ ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස නැගී සිටීම සඳහා ශ්‍රී ලංකා රජය ලබා දෙන අඛණ්ඩ සහයෝගය මූලික සංවර්ධකයා ඉතා අගය කොට සලකයි. ආයෝජන අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.portcitycolombo.lk වෙබ් අඩවියටත්, නියාමන කරුණු පිළිබඳ තොරතුරු සඳහා www.portcitycolombo.gov.lk වෙබ් අඩවියටත් පිවිසිය හැක.

කොළඹ වරාය නගරය පිළිබඳව: ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජයීය වටපිටාව නව මානයකට ඔසවා තැබීමට අපේක්ෂිත කොළඹ වරාය නගරය, දකුණු ආසියානු කලාපයේ හදවත බඳු කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ඩොලර් බිලියන ගණනක සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතියකි. දකුණු ආසියාවේ ප්‍රවේශ ද්වාරය ලෙස සැලකෙන මෙය, ගෝලීය ආයෝජන අවස්ථා, ජාත්‍යන්තර ව්‍යාපාරික වටපිටාව, ලෝක මට්ටමේ යටිතල පහසුකම් සහ තිරසාර නූතන ජීවන රටාවක අපූර්ව සංකලනයකි. විශේෂ ආර්ථික කලාපයක් (SEZ) ලෙස ක්‍රියාත්මක වන කොළඹ වරාය නගරය, බදු සහන, විදේශ විනිමය ගනුදෙනු කිරීමේ පහසුව සහ 100%ක් විදේශීය හිමිකාරීත්වය දැරීමේ හැකියාව වැනි ව්‍යාපාර හිතකාමී ප්‍රතිලාභ රැසක් පිරිනමයි. ඩුබායි හෝ සිංගප්පූරුව වැනි සාර්ථක ආර්ථික ආකෘතීන් අනුගමනය කරමින්, තිරසාරභාවය සහ ජීවත් වීමට සුදුසුම පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව