ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සිය 125 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

01 Image (LBN) (1)

සංවත්සර ලාංඡනය සමග වසර පුරා පැවැත්වෙන සැමරුම් වැඩසටහන් මාලාවක් පිළිබඳ තොරතුරු එළි දක්වයි

ශ්‍රී ලංකාවේ එක්  පැරණිතම මෙන්ම කීර්තිමත් ක්‍රීඩා සමාජයක් වන ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සිය 125 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. ඒ වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
 



 
එහිදී එම ක්‍රීඩා සමාජයේ නිලධාරීන් විසින් විශේෂ සංවත්සර ලාංඡනය මෙන්ම ඉදිරියේදී පැවැත්වෙන සැමරුම් වැඩසටහන් පිළිබඳව තොරතුරුද එළි දක්වන ලදි. ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයේ ප්‍රෞඪ ඉතිහාසය මෙන්ම එම ක්‍රීඩා සමාජය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩාවන්ගේ උන්නතියට ලබාදෙන ලද දායකත්වය සංකේතවත් වන ආකාරයට මෙම වැඩසටහන් පැවැත්වෙනු ඇත.

ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය ආරම්භ කරන ලද්දේ 1899 වසරේ දෙසැම්බර් 02 වන දින ය. එහි වසර 125 ක ගමන් මග තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන රාශියක් සනිටුහන් වී තිබේ.

සිය 125 වන සංවත්සරය වෙනුවෙන් විවිධ තරගාවලි, ප්‍රදර්ශන සහ ප්‍රජා සත්කාර වැඩසටහන් පැවැත්වීමට ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන්වලට එම සමාජයේ අතීත හා වර්තමාන සාමාජිකයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් දායක වනු ඇත.

‘ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර’ ලෙස සැලකෙන ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තර තලය ජයගැනීමට මහෝපකාරී වී තිබේ. 1943 වර්ෂයේදී ඉදි වුණු පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය මෙරට තුළ එබඳු පහසුකම් සහිතව ඉදි වූ ප්‍රථම ක්‍රීඩාංගණය ලෙස සැලකේ. 1982 වසරේදී ශ්‍රී ලංකාව සහභාගී වූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය (එංගලන්තය සමග) පැවැත්වුණේද මෙම ක්‍රීඩාංගණයේදීය.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ක්‍රීඩාංගණ හැරුණු විට, ලොව සම්භාවනීයම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩා කළ එකම ක්‍රීඩා පිටිය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව ප්‍රථම වරට ටෙස්ට් තරගයක් ජයගත්තේද මෙම ක්‍රීඩාංගණයේදීය.

සිය ඉතිහාසය පුරාම ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය මෙරට විවිධ පසුබිම්වලින් පැමිණි නවක ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම හැකියාවන් වැඩිදියුණු කරගැනීම සඳහා සුවිශාල අත්වැලක් ලබා දී ඇත. ටෙස්ට් තරග 133 කදී කඩුලු 800 ක් දවාගනිමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය වැඩිම කඩුලුලාභියා බවට පත් වූ මුත්තයියා මුරලිදරන්ද ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකෙන එම්. සතාසිවම්ද ටැමිල් යූනියන් සමාජයෙන් බිහි වූ තරුවකි. 1945 වර්ෂයේදී මුල්ම වරට ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු එහිදී ඉන්දියාවට එරෙහිව ලකුණු 111 ක් ලබාගත්තේය. 1948 වසරේදී ඔහු ඩොන් බ්‍රැඩ්මන්ගේ ඕස්ට්‍රේලියානු පිල සමග පැවති තරගවලදී ශ්‍රී ලංකාවට නායකත්වය ලබාදුන්නේය. ඔහු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව (206) මෙන්ම අවසන් ශතකය වාර්තා වූයේ 1955 වර්ෂයේ රාජ්‍ය සේවා කණ්ඩායමට එරෙහිව ‘Rest’ කණ්ඩායම වෙනුවෙනි. ඒ කොළඹ Nondescript Cricket Club ක්‍රීඩාංගණයේදීය.

ටැමිල් යුනියන් යනු හුදෙක් ක්‍රිකට්වලට සීමා වූ ක්‍රීඩා සමාජයක් නොවේ. හොකී ක්‍රීඩාව සම්බන්ධයෙන්ද එම සමාජයට කීර්තිමත් හා දීර්ඝ ඉතිහාසයක් ඇත. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම හොකී ක්‍රීඩකයා ලෙස සැලකෙන ඒ. මයිල්වාගනම්ද ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකි. ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගී වූ ඔහු මෙරට හොකී ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකළේය. මේ සියල්ල නිසාම ඔහු ‘The Hockey Wizard’ යනුවෙන් හඳුන්වනු ලැබේ.

ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයේ සභාපති රමේෂ් ශාෆ්ටර් මහතා පැවසුවේ වසර 125 ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවනාලිය වූ ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය, රටේ ජාතික ක්‍රීඩා අනන්‍යතාව හැඩගැස්වීමෙහිලා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කළ බවයි. මෙම සැමරුම් වැඩසටහන් තුළදී ටැමිල් යුනියන් සමාජයේ ඉතිහාසය තුළ රන් අකුරින් නම ලියැවුණු කීර්තිමත් පුද්ගලයන් රැසකට උපහාර පිදීමට සැලසුම් කර තිබේ. එමෙන්ම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය උදෙසා වන කැපවීම තවදුරටත් තහවුරු කිරීමටත්, එම මෙහෙවර තවත් වසර සියයක කාලයක් පුරා ඉටුකිරීමට අවශ්‍ය අඩිතාලම නිර්මාණය කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවද රමේෂ් ශාෆ්ටර් මහතා වැඩිදුරටත් පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව පිහිනුම්, බැඩ්මින්ටන්, ස්ක්වොෂ් සහ ටෙනිස් වැනි ක්‍රීඩාවන් සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම සියලු පහසුකම්වලින් සමන්විත ව්‍යායාම මධ්‍යස්ථානයක්ද ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සතුය. එමෙන්ම මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ කේන්ද්‍රයක් ලෙසද සැලකෙන එම සමාජය ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය පුහුණු හා යටිතල පහසුකම්ද පිරිනමයි.

ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය ප්‍රිය සම්භාෂණ සඳහා සුදුසුම ස්ථානයක් ලෙසද විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන් හමුවන උත්සව රැසක් වසර පුරාම එහිදී පැවැත්වෙන අතර එහි ආපනශාලාවෙන් ප්‍රණීත ආහාරපාන වර්ග රාශියක් ලබාගත හැක.

ටැමිල් යුනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සහ එහි 125 වන සංවත්සර සැමරුම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://tamilunioncac.com/ වෙත පිවිසෙන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව