DFCC බැංකුවේ ATM/CRM ජාලය තුළ UnionPay කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම හිමි වේ.

Image 1 (LBN)

නව්‍ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් DFCC බැංකුව, සිය ATM/CRM ජාලය තුළ UnionPay International කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම LankaPay සේවාව හරහා ලබා දී ඇති බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේ ය. මීට පෙර එම බැංකුවේ Internet Payment Gateways (IPGs) and POS ස්ථාන හරහා UnionPay ගෙවීම් භාරගැනීමට පහසුකම් සලසා දී තිබිණි. මෙම නව පියවරත් සමග DFCC බැංකුවේ ගෙවීම් භාරගැනීමේ ආවරණ පරාසය තවදුරටත් පුළුල් වන අතර එමගින් වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආවරණය වනු ඇත. සාමාන්‍ය සංචාරකයන් හා ව්‍යාපාරික සංචාරකයන් ඇතුළුව චීනය, රුසියාව, හොංකොං සහ තවත් රටවල් රැසකින් පැමිණෙන සංචාරකයන් විශාල පිරිසකට මෙය ඉමහත් පහසුවක් වනු නිසැක ය.
 



 

මෙම නව පියවර, මෙරට ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන අතරම, විදේශ සංචාරකයන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව සලසා දීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයටද කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙනු ඇත. මෙරට ආර්ථිකය වර්ධනය වෙමින් සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යමින් පවතින මේ මොහොතේ, UnionPay සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය ඔස්සේ DFCC බැංකුව මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ දායකත්වයක් දක්වන බැංකුවක් ලෙස නැවත වරක් ඇගයීමට ලක්වනු නිසැක ය.

“මෙය චීනය ඇතුළු අනෙකුත් ප්‍රධාන පෙළේ රටවල සංචාරකයන්ගේ පැමිණීම මෙන්ම එම රටවල් සම්බන්ධ ආයෝජන සහ ව්‍යාපාර කටයුතුද දිරිගන්වන පියවරක් වේවි. එමෙන්ම මෙය ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසද හැඳින්වීමට පුළුවන්. ලොව විශාලතම කාඩ්පත් සන්නාමයක් වන UnionPay International හි කාඩ්පත් පිළිගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට පෙරටත් වඩා පුළුල් දායකත්වයක් දැක්වීම DFCC බැංකුවේ ඉලක්කයයි.” DFCC බැංකුවේ ප්‍රධාන ඩිජිටල් මෙහෙයුම් නිලධාරී ඔමාර් සහිබ් මහතා පැවසී ය.

“DFCC බැංකුව මේ ආකාරයට LankaPay ජාලය හරහා UnionPay International කාඩ්පත් භාරගැනීම ආරම්භ කළ දෙවැනි බැංකුව බවට පත්වීම අපට මහත් සතුටක්. ශ්‍රී ලංකාව යනු චීනය ඇතුළුව ආසියා පැසිෆික් කලාපයේ රටවල් රැසකින් සංචාරකයන් පැමිණෙන රටක් නිසා, මෙම හවුල්කාරීත්වය UnionPay කාඩ්පත් හිමියන්ට විශාල පහසුවක් වේවි. අපගේ මෙම උත්සාහය මගින්, ජාත්‍යන්තර ගනුදෙනු වඩාත් පහසු කරන ගෙවීම් යටිතල පහසුකම් ඔස්සේ රටේ ආර්ථිකයේ පුනර්ජීවනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුවනු ඇතැයි කියා අප සිතනවා.” LankaPay නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී දිනුක පෙරේරා මහතා පැවසී ය.

DFCC බැංකුවේ ATM සහ CDM යන්ත්‍ර මගින් UnionPay කාඩ්පත් භාරගැනීම යනු ඩිජිටල් තාක්ෂණයේ දියුණුව ඔස්සේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් පිරිනැමීම සඳහා ගනු ලබන ප්‍රවේශයක එක් වැදගත් පියවරකි. මේ වනවිට DFCC බැංකුවේ ගෙවීම් ආවරණ පරාසයට UnionPay, MasterCard, Visa සහ JCB International යන ආයතන ඇතුළත් වී තිබේ. ඉදිරියටත් මේ ආකාරයට නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දේශීය හා විදේශීය ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් මෙන්ම සුරක්ෂිත හා කාර්යක්ෂම ලෙස ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව