![Badminton](https://sinhala.lankabusinessnews.com/wp-content/uploads/2023/07/Badminton.jpg)
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විශාලතම ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය කටයුතු යොදා තිබේ. HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 නමින් මෙම තරගාවලිය පෙබරවාරි මස 25 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර, ඊට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 667 දෙනකු සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රටවල් 28කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 තරගාවලිය එවැනි විශාල තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මැනවින් පෙන්නුම් කරන්නකි.
පසුගිය වසරේදී ගාල්ල දඩැල්ල ජාත්‍යන්තර ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පැවැති ලීනිං ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා තරගාවලියේදී රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගත් ඉන්දියාව මෙම තරගාවලියේදී ද වැඩි පදක්කම් සංඛ්‍යාවක් අත්කර ගනිමින් සිය ආධිපත්‍ය පතුරුවාලීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 227දෙනකු සහභාගි කිරීමට සූදානමින් පසුවෙයි.
HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 තරගාවලියේ සත්කාරකත්වය ලබාගැනීමේ ගෞරවය සමඟ ශ්‍රී ලංකාව ද ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය ලැබූ මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 108 දෙනකු ඉදිරිපත් කිරීමට නියමිත අතර, මැලේසියාවෙන් අයැදුම්පත් 82ක්, චීන තායිපේ අයැදුම්පත් 52ක් සහ තායිලන්තයෙන් අයැදුම්පත් 44ක් ඉදිරිපත් කර තිබේ. ඉන්දුනීසියාවෙන් තරගකරුවන් 38ක් සහ ජපානයෙන් තරගකරුවන් 19 දෙනකු තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය.
මීට අමතරව පිලිපීනයෙන් සහ වියට්නාමයෙන් තරගකරුවන් 13 දෙනකු බැගින් ද, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද තරගකරුවන් 9 දෙනකු බැගින් තරගාවලියට ඉදිරිපත් කරන බව තහවුරු කර තිබේ. දකුණු කොරියාව සහ අමෙරිකාව තරගකරුවන් අටදෙනකු බැගින් යොමු කිරීමට කටයුතු යොදා ඇති අතර, මාලදිවයින (6) සහ කැනඩාව ද (5) මෙම ජාත්‍යන්තර තරගාවලියට එක්වීමට නියමිතව තිබේ.
මියන්මාරය සහ සැම්බියාව ද HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 තරගාවලියට තරගකරුවන් තිදෙනකු බැගින් යොමු කරන බව තහවුරු කර ඇති අතර, එංගලන්තයෙන් එක්වීමට නියමිත තරගකරුවන්ගේ සංඛ්‍යාව දෙකකි. සයිප්‍රස්, ඩෙන්මාර්කය, ඉරානය, මුරුසි රාජ්‍යය, සෞදි අරාබිය, සිංගප්පූරුව, ස්ලෝවේකියාව, ස්පාඤ්ඤය සහ තුර්කිය ඇතුළු රටවලින් ද තරගකරුවකු බැගින් සහභාගි වනු ඇත.
තරග ඉසව් 5ක් ඇතුළත් HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 තරගාවලියේ පිරිමි ඒකල තරග අංශයට වැඩිම තරගකරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්වී සිටින අතර, එම සංඛ්‍යාව 244කි. කාන්තා ඒකල තරග අංශයට තරගකාරිනියන් 136 දෙනකු ඉදිරිපත්වී සිටින අතර, පිරිමි යුගල තරග අංශයට ක්‍රීඩා කිරීමට නියමිත සංඛ්‍යාව 84කි. කාන්තා යුගල තරග අංශයට තරගකාරිනියන් 74 දෙනකු ලැයිස්තුගත කර ඇති අතර, මිශ්‍ර යුගල තරග අංශයට අයැදුම්පත් 75ක් ලැබී තිබේ.
අමෙරිකානු ඩොලර් 17,500ක මුදල් ත්‍යාග බෙදා දෙන දින 6කින් සමන්විත HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 තරගාවලියට HUNDRED, LiNing, Mobil, McFoil සහ 3M අනුග්‍රාහකත්වය ලැබී ඇති අතර, තරගාවලියේ නිල විකාශන සහකරු ලෙස Peo TV Sports
කටයුතු කරයි.