ශත සංවත්සරය සමරන කොළඹ මහජන පුස්තකාලයේදී ජනවාරි 17 සිට 19 දක්වා සැසි 32 ක් පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ කලාවේ හා සංස්කෘතියේ උන්නතිය පිළිබඳ දැක්ම තවදුරටත් ශක්තිමත් කරමින් HSBC Ceylon Literary & Arts Festival තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ය. මෙම වසරේදී ශත සංවත්සරය සමරන, මෑතකදී වැඩිදියුණු කිරීම්වලට ලක් වූ කොළඹ මහජන පුස්තකාලයේදී මෙම වැඩසටහන පැවැත්වේ. 2025 ජනවාරි 17, 18 සහ 19 යන තෙදින තුළ පැවැත්වෙන මෙම වැඩසටහනට සැසි 32 ක් ඇතුළත් වන අතර, ප්‍රකට කතුවරුන් හා කතුවරියන් 50 කට අධික පිරිසක් එම සැසිවලට සහභාගී වීමට නියමිත ය. සාහිත්‍ය ක්ෂේත්රයේ වැඩසටහන් රැසකට මුල් වූ මීරා කපූර් මහත්මියගේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන මෙම උත්සවයේදී පුලිට්සර්, ග්‍රේෂන් සහ රාජ්‍ය සම්මාන ඇතුළු විවිධ සම්මාන හා ඇගයුම්වලින් පිදුම් ලැබූ විශිෂ්ටයන් පිරිසක් දේශන පවත්වනු ඇත. මීට අමතරව සාහිත්‍යය, චිත්‍ර කලාව, සිනමාව සහ තරුණ සංවර්ධනය ඇතුළු විවිධ විෂයන් යටතේ සංස්කෘතික හුවමාරුව දිරිගැන්වීම ඉලක්ක කරගත් වැඩමුළු, සංවාදමය වැඩසටහන් සහ නිර්මාණාත්මක සැසි මාලාවක් මීට ඇතුළත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් Ceylon Literary & Arts Festival වැඩසටහනේ අධ්යක්ෂ අජේ වීර් සිං මහතා මෙසේ අදහස් දැක්වී ය. “මෙම සැණකෙළියේ මූලික දැක්ම වන්නේ, සාහිත්‍යය, චිත්‍ර කලාව, සිනමාව හා සංගීතය පිළිබඳව විශේෂ අවධානයකින් යුතුව කලාව හා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා අඩිතාලමක් බවට පත්වීමයි. ශ්‍රී ලංකාවේ මෘදු බලය (Soft Power) වැඩිදියුණු කිරීම මෙහි පරමාර්ථය වී තිබෙනවා. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව සුභවාදී අයුරින් ජාත්‍යන්තර ප්‍රජාවන් හමුවට ඉදිරිපත් කිරීමක්. මෙහිදී තරුණ පරපුර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ අනාගත පරපුර කලාව හා සංස්කෘතිය සමග සම්බන්ධ කරමින්, ඔවුන්ට නිර්මාණශීලී කර්මාන්තයන් තුළ පවතින අවස්ථා පෙන්වා දෙමින්, නිර්මාණකරණය පදනම් කරගත් ව්‍යවසායකයන් ලෙස තම ඉදිරි ගමන ආරම්භ කිරීමට ඔවුන්ට අත්වැලක් වීමටයි.”
මෙම වැඩසටහන සම්බන්දයෙන් අදහස් දක්වමින් HSBC Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් මහතා මෙසේ අදහස් දැක්වී ය. “මෙම උත්සවයේ අරමුණ වන්නේ කලාව හා සංස්කෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු විශිෂ්ටතම උරුමයන් ලෝකයට හඳුන්වා දීම සහ ලෝකයේ විශිෂ්ටතම උරුමයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමයි. මෙය HSBC ආයතනයේ දැක්ම සමග මැනැවින් සමපාත වනවා. අපගේ බලාපොරොත්තුව වන්නේ ලෝ ප්‍රකට කර්තෘවරුන් සහ කලාකරුවන් සමග සංවාද කිරීමට හා අදහස් හුවමාරු කරගැනීමට වේදිකාවක් නිර්මාණය කිරීමයි. මෙමගින් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලා අවකාශය දෙසට ලෝකයේ අවධානය යොමු වනු ඇතැයි කියා අප සිතනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර බැංකුව වශයෙන්, අපගේ ගනුදෙනුකරුවන්ට කොළඹදීම මෙවැනි ජාත්‍යන්තර සාහිත්‍ය කලා උත්සවයක් දැකබලා ගැනීමට අවස්ථාව හිමි වීම අපට මහත් සතුටක්.”
Cinnamon Grand and Taj Samudra Colombo මෙම උත්සවයෙහි නිල සත්කාරක හවුල්කරුවන් ලෙස කටයුතු කරයි.
Cinnamon Colombo Hotels හි ප්‍රාදේශීය උප සභාපති සහ Cinnamon Grand Colombo හි සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “Cinnamon Grand Colombo හි සාමාන්‍යාධිකාරී සහ Cinnamon Colombo Hotels හි උප සභාපති වශයෙන්, Ceylon Literature Festival සමග අත්වැල් බැඳගැනීමට ලැබීම මට මහත් සතුටක්. මෙය අපගේ ප්‍රෞඪ දේශීය සංස්කෘතිය සහ උරුමය සැමරීමක් ලෙස හඳුන්වීමට පුළුවන්. දේශීය සන්නාමයක් වන Cinnamon යටතේ මෙබඳු වැඩසටහනකට අනුග්‍රහය දැක්වීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. ජනප්‍රිය පුද්ගලයන් විශාල පිරිසක් සහභාගී වන මෙම වැඩසටහන ඔස්සේ අපගේ සංස්කෘතික ක්ෂේත්රය පෝෂණය කරන අතරම, සංචාරකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගනිමින් රටේ සුන්දරත්වය ලෝකයට පෙන්වා දීමට හැකි වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.”
Taj Maldives & Sri Lanka හි ප්‍රාදේශීය අධ්යක්ෂ සහ කොළඹ Taj Samudra හෝටලයේ සාමාන්‍යාධිකාරී සම්රත් දත්තා මහතා අදහස් පළකළේ මෙසේ ය. “Ceylon Literary and Arts Festival 2025 වැඩසටහනට Taj Samudra අනුග්‍රහය ලබාදෙන බව නිවේදනය කරන්නේ ඉමහත් සතුටින්. මෙය අපගේ සන්නාමයේ මූලිකාංග වන නිර්මාණශීලීත්වය සහ බුද්ධිමය හුවමාරුව දිරිගැන්වීම සංකේතවත් කරමින් කලාව, සංස්කෘතිය හා සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා අප දක්වන නිරන්තර කැපවීමෙහිම ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකියි. ලොව නන් දෙසින් පැමිණෙන කතුවරුන් හා කලාකරුවන් සාදරයෙන් පිළිගන්නා අතරම, සාහිත්‍යයික හා සංස්කෘතික විවිධත්වය සමරන මේ සුවිශේෂී වැඩසටහනට දායක වීමට ලැබීම අප සලකන්නේ අප ලැබූ ගෞරවයක් ලෙසයි. කලාව හා සාහිත්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන්නන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව මෙය සපුරාම සාර්ථක කරගැනීම සඳහා අජේ වීර් සිං මහතාට සහ ඔහුගේ කණ්ඩායමට හැකිවේවායි අප ඉතසිතින් ප්‍රර්ථනා කරනවා.”
නිර්මාණශීලී ක්ෂේත්රයන්හි එකිනෙකට වෙනස් පැතිමානයන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රධාන අංග හතරකින් මෙම උත්සවය සමන්විත වේ. ජෝන් කීල්ස් පදනම සමග අත්වැල් බැඳගෙන, ප්රමෝධ වීරසේකරගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වනු ලබන ‘The Art Festival’ හිදී ‘Semi-Autobiography’ යන තේමාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමුවනු ඇත. මෙය සාහිත්‍යය හා දෘශ්‍ය කලාව සුසංයෝග කරමින් තරුණ සහ නැගී එන කලාකරුවන්ට වේදිකාවක් සැපයීම අරමුණු කරගත් වැඩසටහනකි. මෙහි ‘The Art Exhibit’ ඉසව්වේදී කලාකරුවන් 16 දෙනෙකුට වැඩි පිරිසකගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙනු ඇති අතර, එය සමකාලීන දෘශ්‍ය නිර්මාණ දැකබලා ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් වනු ඇත.
පසුගිය වසරේදී අයදුම්පත් 100 කට අධික සංඛ්‍යාවක් ලබමින් අතිසාර්ථක ලෙස පැවැත්වුණු Dilmah ඉදිරිපත් කරන ‘Future Writers’ වැඩසටහන මෙවරත් පැවැත්වේ. සම්මානලාභී දේශීය හා ජාත්‍යන්තර කර්තෘවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව, අවුරුදු 16 ත් 29 ත් අතර නවක රචක රචිකාවන් වෙනුවෙන් ජනවාරි 18 වන සෙනසුරාදා දින පැවැත්වෙන වැඩමුළුවකින් මෙය ආරම්භ වනු ඇත. මෙය Ceylon Literary & Arts Festival හි මූලික දැක්මට සමගාමීව අනාගත පරපුරේ රචික රචිකාවන් දිරිගන්වන ඉසව්වක් ලෙස හැඳින්විය හැකි වේ.
HSBC Ceylon Literary & Arts Festival එහි හවුල්කරුවන්ට සහයෝගීත්වය හා නවෝත්පාදනය උදෙසා අගනා වේදිකාවක් සපයයි. මෙවර මෙම උත්සවයේ නිල සහ එකම Spring Water හවුල්කරු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Mountain Spring Water සමාගමක් වන Clouds by SOZO Sri Lanka කටයුතු කරයි. උත්සවයේ දැනුම් සහකරුවන් වශයෙන් British Council සහ Goethe-Institut සුපුරුදු පරිදි සිය වටිනා දායකත්වය ලබාදෙනු ඇත.
‘The Children’s Festival’ වැඩසටහනේදී දේශීය හා විදේශීය කතුවරුන් හා කතුවරියන් පිරිසක් අවුරුදු 6 ත් 13 ත් අතර දරුවන් වෙනුවෙන් පොත් කියවීමේ හා නිර්මාණකරණ සැසි මාලාවක් පැවැත්වීමට නියමිත ය. මීට අමතරව ‘The Film Festival’ වැඩසටහන ප්‍රකට සිනමාවේදී විමුක්ති ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙහිදී කථා කීමේ මාධ්‍යයක් ලෙස සිනමාව සතු බලය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු වනු ඇති අතර, තරුණ චිත්‍රපට නිර්මාණකරුවන් සවිබල ගැන්වීම සඳහා කෙටි චිත්‍රපට තරගයක්ද පැවැත්වෙනු ඇත.
මෙම උත්සවය සාර්ථක කරගැනීමට අත්වැලක් වීම සඳහා අනුග්රාහකයන් විශාල පිරිසක් ඉදිරිපත් වී සිටිති. සංස්කෘතික නවෝත්පාදනය සහ ගෝලීය කලාකරු හුවමාරුව සම්බන්ධයෙන් තමන් සතු දැක්මට සමගාමීව HSBC මෙහි තේමා අනුග්‍රාහක ලෙස කටයුතු කරන අතර, Dilmah Ceylon, Cinnamon Grand, Taj Samudra, John Keells Foundation සහ Clouds by SOZO ඇතුළු පාර්ශව රැසක් මෙහි සම අනුග්රාහකයන් ලෙස කටයුතු කරයි. British Council, Goethe-Institut, Synamon Global සහ රුක්මණී තිස්සනායගම් භාරයද වැඩසටහනට සහය දැක්වීම සඳහා ඉදිරිපත් වී සිටී. උත්සවයට ප්‍රචාරණ අනුග්‍රහය හා සෙසු අනුග්‍රාහක දායකත්වයන් හිමිවනුයේ Wijeya Newspapers, Daily Mirror, Sunday Times, Hi!!, Acorn, Sarasavi සහ Hardtalk වෙතිනි.
තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ මෙම උත්සවයට සහභාගී වීමට අවසරපත් ලබාදීමටද HSBC Ceylon Literary & Arts Festival සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. මෙය අනාගත පරපුරේ නිර්මාණකරුවන්ට සහ නායකයන්ට ජාත්‍යන්තර තලයේ කලා හා සංස්කෘතික වැඩසටහන් මාලවකට සහභාගී වීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත. ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ ගෝලීය කලා ක්ෂේත්රය සම්මුඛ වන මෙම සුවිශේෂී උත්සවයට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණි. සහභාගී වන්නන් උත්තේජනය කරන සහ ඔවුන්ගේ දායකත්වය සක්‍රීයව ලබාගන්නා ආකාරයට මෙහි සෑම සැසියක්ම සැලසුම් කර තිබේ. මෙහි සම්පූර්ණ වැඩසටහන් පෙළගැස්ම සහ ප්‍රවේශපත්‍ර සඳහා පිවිසෙන්න: www.ceylonliteraryfestival.com