DFCC බැංකුව තම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා SLT සමග අත්වැල් බැඳගනී

SLT X DFCC (LBN)

DFCC බැංකුව තම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් හා සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ Co-location සේවාවන් සඳහා SLT අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය භාවිතා කිරීම සහ සියලුම DFCC ශාඛාවන් තුළ Cisco SD-WAN තාක්ෂණය භාවිතයට ගැනීම සිදුකෙරේ. මෙය අනාගත අවශ්‍යතාවන්ට අනුකූලව හැඩගැසෙන අතරම ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ වැදගත් පියවරකි. Co-location ක්‍රමවේදය මගින් බැංකුවට තම සේවාවන් සුරක්ෂිත ලෙස SLT සමාගමේ අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය තුළ ස්ථානගත කිරීමට හැකි වන අතර, Cisco SD-WAN තාක්ෂණය මගින් DFCC ශාඛා ජාලයේ අන්තර්ජාල සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට හැකියාව ලැබේ.

 



 
DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ප්‍රධාන තොරතුරු නිලධාරී වින්ද්‍යා සෝලංගආරච්චි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “SLT සමග අත්වැල් බැඳගනිමින් Cisco SD-WAN තාක්ෂණය භාවිතයට ගැනීම DFCC බැංකුවේ ඩිජිටල් පරිවර්තනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. අපගේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් අනාගතයට ගැළපෙන පරිදි  වැඩිදියුණු කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මේ ආකාරයට ගෝලීය තාක්ෂණය තුළින් පන්නරය ලබමින් විශේෂඥ සේවාවන් ලබාදෙන දේශීය සමාගමක සේවය ලබාගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ නව්‍ය ප්‍රවේශය නිසා අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් අත්විඳීමට හැකි වේවි. දිගින් දිගටම මේ ආකාරයට නවීන තාක්ෂණය මූලික කරගත් පුරෝගාමී විසඳුම් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.”

SLT සමාගමේ අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය භාවිතා කිරීමට හැකි වීම මගින් DFCC බැංකුවට තම ප්‍රධාන පෙළේ මෙහෙයුම් කටයුතු සඳහා වඩාත් කාර්යක්ෂම හා  විශ්වාසනීය යටිතල පහසුකම් භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ. මෙමගින් බැංකුවට තම දත්තවල ආරක්ෂාව වැඩිදියුණු කිරීමට හැකි වන අතර, ආපදා ප්‍රතිසාධන හැකියාවද ඉහළ යයි. එමෙන්ම මෙමගින් DFCC බැංකුවට දත්ත මධ්‍යස්ථාන නඩත්තු කිරීම සඳහා වියදම් දැරීමට සිදු නොවන බැවින් මෙය බෙහෙවින් පිරිමැසුම්දායක පියවරක්ද වේ. මෙහිදී දෘඪාංග භාවිතය, බලශක්ති පරිභෝජනය සහ කාර්ය මණ්ඩල වියදම් ආදිය අවම වීම හේතුවෙන් DFCC බැංකුවට ක්‍රමෝපායික වශයෙන් වඩාත් වැදගත් වන වැඩසටහන් සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. එය DFCC බැංකුවේ මූල්‍ය කාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය කිරීමට දායක වනු නිසැක ය.

Cisco SD-WAN තාක්ෂණය නිසා දැනටමත් DFCC බැංකුවේ ශාඛාවල සන්නිවේදනය සහ සේවා සම්පාදනය කැපීපෙනෙන ලෙස වැඩිදියුණු වී තිබේ. මෙම තාක්ෂණය මගින් Bandwidth භාවිතය වැඩිදියුණු වී Latency අවම වන බැවින්, ශාඛා අතර සම්බන්ධතාව වඩාත් කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත. මෙම තාක්ෂණය මගින් තොරතුරු තාක්ෂණ කටයුතු මධ්‍යගත ලෙස කළමනාකරණය කිරීමට හැකි වන නිසා, බැංකුවේ කාර්ය මණ්ඩලයට එක් පදනමක් හරහා සමස්ත ජාලය නිරීක්ෂණය කිරීම හා පාලනය කිරීම සිදුකළ හැකි වේ. මෙමගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු වන අතර, ජාලයේ විවිධ අංශ වෙන-වෙනම කළමනාකරණය කිරීමේදී මතුවන සංකීර්ණතාද මගහැරී යයි.

මෙම හවුල්කාරීත්වය, තිරසාර තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන් භාවිතා කරන අතරම නවෝත්පාදනය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට තලයේ අත්දැකීමක් තිළිණ කිරීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා උදාහරණයකි. ඉදිරියටත් මෙවැනි පියවර ඔස්සේ තම මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගනිමින් ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාවක් සපයන අතරම, අනාගතයේ එළඹෙන අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් බැංකු ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ. මේ ආකාරයට සුරක්ෂිත, නම්‍යශීලී සහ විධිමත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසඳුම් භාවිතා කිරීම තුළින් එම අරමුණ වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබෙනු නො-අනුමාන ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව