කැපී පෙනෙන කාර්යසාධනයක් සමඟින් කොමර්ෂල් බැංකුව 2024 වසර අරඹයි

Commercial Bank Chairman Mr Sharhan Muhseen & Managing Director and CEO Mr Sanath Manatunge (LBN)

ශේෂ පත්‍ර සංකෝචනයක් හා ණය පොතේ අගයට සෘණාත්මක බලපෑමක් ඇති කරමින් රුපියලේ අගය ඉහළ නැංවුනු අවධියක වුවද ණය දීමේ කාර්යය උදෙසා වූ බැංකුවේ අවධානය එලෙසම පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකු සමූහය රුපියල් ටි‍්‍රලියන 1.316 ක ණය පොත් අගයක් සමඟින් 2024 පළමු කාර්තුව අවසන් කර ඇත.

ණය සහ අත්තිකාරම් සඳහා වසරේ පළමු මාස තුන තුළදී සමූහය රුපියල් බිලියන 20 ක ශුද්ධ වර්ධනයක් සහ 2024 මාර්තු 31 වනදායින් අවසන් වූ මාස 12 තුළදී මාසික ව රුපියල් බිලියන 10.75 ක සාමාන්‍ය අගයක් සමඟ රුපියල් බිලියන 129 ක ශුද්ධ වර්ධනයක් වාර්තා කර ඇත. එය 10.87% ක වාර්ෂික වර්ධනයකි.

 



 

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ වෙත වාර්තා කර ඇති පරිදි සමූහයේ මුළු වත්කම් මාස 12 තුළදී රුපියල් බිලියන 117 ක් නැතහොත් 5.80% ක වර්ධනයක් වාර්තා කර ඇති නමුත් 2024 පළමු කාර්තුවේදී එය රුපියල් ටි‍්‍රලියන 2.141 ක් දක්වා 0.33% ක ආන්තික අගයකින් පහත වැටී ඇත. ඒ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම නිසාවෙනි.  කෙසේ වෙතත් සමූහයේ මුළු රුපියල් තැන්පතු වල අගය 2024 පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 41.256 කින් නැතහොත් 2.94% කින් වර්ධනය වී ඇත.

2024 මාර්තු 31 වන විට සමූහයේ මුළු වත්කම් රුපියල් ටි‍්‍රලියන 2.616 ක් එනම් 1.48% ක පහත වැටීමක් පෙන්වූ අතර, එයට හේතු වූයේ සලකා බලන ලද කාල සීමාව තුළදී රුපියලේ අගය ඉහළ යාමට සමගාමීව විදේශ මුදල් වත්කම් වල වටිනාකම නැවත තක්සේරු කිරීමට සිදුවීමය.

සලකා බලන ලද කාර්තුව සඳහා සමූහයේ දළ ආදායම රුපියල් බිලියන 80.208 ක් වූ අතර එම මාස තුන සඳහා ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 27.698 දක්වා 45.97% කින් වර්ධනය වී ඇති බව සමූහය වාර්තා කර ඇත.

“මෙරට පැවති විචලනය වන සාර්ව ආර්ථික තත්වයන් නිසාවෙන් සිදු වූ රුපියලේ අගය ඉහළ යාම හා හානි පූරණය සඳහා මුදල් වෙන් කිරීම්වල වෙනස්කම් යනාදී සාධක හේතුවෙන් ප්‍රධාන දර්ශක වෙත වෙනදාටත් වඩා බලපෑම් ඇති වෙම්න් පවතී,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ මෑතකදී පත්වූ සභාපති, ෂාර්හාන් මුසීන් මහතා පැවසීය. “සියළුම පාර්ශවකරුවන් සඳහා සාධාරණ ප්‍රතිඵල ලැබෙන පරිදි හඳුනාගන්නා ලද ප්‍රමුඛ අංශ කෙරෙහි අපගේ අවධානය තබා ගැනීමට බැංකුවට හා සමූහයට ඇති හැකියාව, අපගේ පළමු කාර්තුවේ කාර්ය සාධනය මගින් මනාව පෙන්නුම් කරයි.”

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා ද මෙසේ පැවසීය: “අපගේ පළමු කාර්තුවේ කාර්ය සාධනය මගින් පෙන්නුම් කරන්නේ, අපගේ ශුද්ධ ලාභයෙහි සැළකිය යුතු වර්ධනයක් වාර්තා කිරීමට රුකුලක් වූ, අරමුදල් මත පදනම් වූ මෙහෙයුම්වලින් ලැබෙන දායකත්වය වැඩි කිරීම වෙනුවෙන්, බැංකුවේ ආයෝජන කළඹ පෙළ ගැස්වීම සඳහා අප විසින් ක්‍රියාවට නැංවූ උපක්‍රම වල ප්‍රතිඵලයි. මේ අතර, ප්‍රමුඛ මෙහෙයුම් දර්ශක සහ කාර්ය සාධන අනුපාතික තවදුරටත් වර්ධනය වෙමින් පවතී. එසේ ම දේශීය ආර්ථිකයට වැදගත් වන බැංකුවක් ලෙස අපගේ කාර්යභාරය ඉටු කිරීම සඳහා අප තවදුරටත් වර්ධනය වන බවට අපි විශ්වාස කරමු.”

සළකා බලන කාර්තුව සඳහා සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 34.947 දක්වා 38.20% කින් වර්ධනය වී ඇත.  සමූහය හානි පූරණ ගාස්තු හා අනෙකුත් අලාභ සඳහා රුපියල් බිලියන 3.436 ක් වෙන් කර ඇති අතර එය පසුගිය වසරේ අනුරූප කාර්තුවේ අගය වූ රුපියල් බිලියන 6.797 ක අගයට සාපේක්ෂව එය 49.45% ක අඩු විමකි.

මෙම කාර්තුව සඳහා බැංකු සමූහයේ මූල්‍ය සේවා මත බදු වලට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 19.457 ක් වූ අතර එය 149.06% ක වර්ධනයකි. මූල්‍ය සේවා මත බදු රුපියල් බිලියන 2.719 ක් දක්වා 153.64% කින් වැඩි වීමත් සමඟ මාස තුන සඳහා සමූහ මට්ටමින් අදායම් බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 16.738 ක් බවට පත් වී ඇත්තේ 148.28% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි. මාස තුන සඳහා ආදායම් බදු රුපියල් බිලියන 5.929 ක් දක්වා 148.89% කින් වැඩි වීමත් සමඟ කාර්තුව සඳහා ශුද්ධ ලාභය රුපියල් බිලියන 10.808 ක් වී ඇත්තේ 147.95% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි.

වෙනමම ගත් විට, කාර්තුව සඳහා කොමර්ෂල් බැංකුව බදු වලට පෙර ලාභය ලෙස රුපියල් බිලියන 16.195 ක් හා බදු වලට පසු ලාභය රුපියල් බිලියන 10.451 ක් ලෙස වාර්තා කර ඇත. එය පිළිවෙලින් 155.56% ක හා 155.47% ක වර්ධනයකි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වන අතර මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව