SLT-MOBITEL 2023 CMA Excellence in Integrated Reporting Awards හිදී ඇගයීමට ලක් වේ

Image 01

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති ‘CMA Excellence in Integrated Reporting Awards 2023’ සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය විනිවිදභාවයෙන් යුතුව තම හවුල්කරුවන් වෙත තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි. මෙහිදී ‘දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තාව’ට හිමි  සම්මානය සහ සමස්ත කුසලතා සම්මානයක් SLT-MOBITEL වෙත හිමි විය.

මෙම ජයග්‍රහණ, ආයතනික පාලනය, තිරසාරත්වය සහ වගවීම සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිතීන් පවත්වාගැනීමට SLT-MOBITEL දරන උත්සාහය මැනැවින් නිරූපණය කරයි. එමෙන්ම තම කාර්යසාධනය සම්බන්ධ තොරතුරු විධිමත් හා පරිපූර්ණ ලෙස තම පාර්ශ්වකරුවන් වෙත සන්නිවේදනය කිරීමට SLT-MOBITEL කටයුතුකරන බවද මෙමගින් පැහැදිලි වේ.

සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මෙය රජයේ හිමිකාරීත්වය යටතේ පවතින ආයතන මෙන්ම ලැයිස්තුගත හා ලැයිස්තුගත නොවූ සමාගම් ඇතුළුව ශ්‍රී ලාංකික සමාගම් හා ආයතන ඒකාබද්ධ වාර්තාකරණය උදෙසා දිරිගැන්වූ සම්මාන උළෙලක් විය. ඒකාබද්ධ වාර්තාකරණය මගින් සමාගමක හෝ ආයතනයක වටිනාකම් නිර්මාණය වීම, පැවතීම හෝ ක්ෂය වීම සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබාගැනීමට එහි පාර්ශ්වකරුවන්ට සහ ආයෝජකයන්ට හැකියාව ලැබේ. එමෙන්ම එය සේවකයන්, පාරිභෝගිකයන්, සැපයුම්කරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, දේශීය ප්‍රජාවන්, නීති සම්පාදකයන්, නියාමකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු සියලුම පාර්ශ්වවලට වැදගත්වන තොරතුරු ලබාදෙයි.

ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලය විසින් 2013 වර්ෂයේදී නිකුත්කර 2021 වර්ෂයේදී සංශෝධනයකරන ලද ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ රාමුව මගින් දක්වා ඇති මාර්ගෝපදේශ පදනම් කරගනිමින් ඒකාබද්ධ වාර්තා විශ්ලේෂණයට ලක් වේ. මෙහිදී මූල්‍යමය තොරතුරු පමණක් නොව, මූල්‍යමය නොවන සහ වෙනත් ගුණාත්මක තොරතුරුද සැලකිල්ලට ගනු ලබයි.

මේ වනවිට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ පමණක් නොව, විනිවිදභාවය, විශ්වසනීයත්වය සහ තිරසාරත්වය හැඩගැස්වීම සඳහා ඒකාබද්ධ වාර්තාකරණය මගින් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුවන මෙරට සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයේම ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියට පැමිණීමට SLT-MOBITEL සමත් වී ඇති බවට මෙම සම්මාන සාක්ෂි දරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව