Unity Plaza ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාප්පු සංකීර්ණය බවට පරිවර්තනය වෙයි

සාප්පු සංකීර්ණය

 



 

 

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැගිල්ලක් වන Unity Plaza, සියලු තොරතුරු තාක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම සාප්පු සංකීර්ණය බවට පරිවර්තනය වී ඇති අතර,  Lanka Realty Investments Public Limited Company 2020 වසරේ දී  Unity Plaza හි හිමිකාරිත්වය දරන On’ally Holdings PLC සමාගමේ 51%ක කොටස් හිමිකර ගැනීමෙන් අනතුරුව  මෙම නව්‍යකරණය සිදු කෙරිණි. ඒ අනුව Unity Plaza වර්තමානය වන විට තාක්‍ෂණික කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු බවට පත් ව ඇත.

Lanka Realty Investments PLC සමාගමේ ගාමක බලවේගයන් වන ආර්චි වර්මන් සහ හාර්ඩි ජමල්ඩීන් යන මහත්වරු, සමාගමේ විධායක අධ්‍යක්ෂිකා දර්ශනී සර්වේෂ්වරන් මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකරණ කණ්ඩායම සමඟ එක්ව Unity Plaza හි අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි. එමෙන් ම ඔවුන්ගේ දැක්ම වන්නේ, නව්‍යකරණය පිළිබඳ ව රජයේ ප්‍රතිපත්ති සඳහා සහයෝගය ලබා දෙමින්,  Unity Plaza මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමයි.

මෙම සාර්ථක ගමන් මඟ වෙත විශ්වාසයෙන් යුතු ව සහය වූ සියලු දෙනාට Unity Plaza කළමනාකාරිත්වය ස්තුතිය පුද කර සිටියි.  ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි Unity Plaza  නවෝත්පාදන ප්‍රවර්ධනය සඳහා  රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවට හොඳ ම උදාහරණයකි.

1982 ජුනි 25 වන දින On’ally Holdings සමාගම විසින්  Unity Plaza ආරම්භ කරන ලද අතර, On’ally Holdings සමාගම 1991 වසරේ දී  කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කිරීමෙන් පසු  ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරය බවට පත් විය.  දිවංගත ඔනාලි ගුලම්හුසේන් මහතාගේ දූරදර්ශී චින්තනයට අනුකූලව නිර්මාණය කෙරුණු මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය සමඟ අත්වැල් බැඳ ගනිමින්  රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවේ සංකේතයක් බවට පත් විය.

මෑත කාලයේ දී නවීන පහසුකම්වලින් සමන්විත ව නවීකරණය  කෙරුණු  Unity Plaza සංකීර්ණය,  අති නවීන තොරතුරු තාක්ෂණ සාප්පු සංකීර්ණයක් බවට පත් කර ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ දිනෙන් දින විකාශනය වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත ව සේවා ලබා දෙන ප්‍රධාන අර්ධ තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය වී ඇත.

Lanka Realty Investments සමාගමේ නව හිමිකාරිත්වය සහ මඟ පෙන්වීම යටතේ කැපී පෙනෙන පරිවර්තනයකට ලක් වී ඇති Unity Plaza වෙළෙඳ සංකීර්ණය, අලෙවිසැල්වලින් යුක්ත මහල් 5 කින් සහ නවීන කාර්යාල පහසුකම්වලින් සමන්විත මහල් 5කින් සමන්විත වන අයුරින් පුළුල් කර ඇති අතර, පාරිභෝගික හිතකාමී පහසුකම් රැසක් සමඟින් නවීකරණය කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ඇති උපායමාර්ගික සහයෝගීතාව මත  ආයෝජන සහන හා බදු දිරිගැන්වීම් ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වී ඇති Unity Plaza මෑත කාලීන විවිධ අභියෝග හමුවේ පවා ස්ථාවර ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර,  ඒ අනුව  2020 වසරේ දී මිලියන 201ක් ලෙස වාර්තා වූ  Unity Plaza හි වාර්ෂික ආදායම 2022 වසරේ දී රුපියල මිලියන 279 ක් දක්වා වර්ධනය වීමෙන් එහි සාර්ථකත්වය පිළිබිඹු  කරයි.

Unity Plaza වර්තමානය වන විට මෙරට වෙළඳපොළ කොටස් 65%ක් පමණ ආවරණය කරන අතර,  එය  90% දක්වා වර්ධනය කිරීම එහි නියාමන සමාගමේ අරමුණයි. ERP පද්ධති සහ උසස් කළමනාකරණ මෙවලම් මගින් විධිමත් කර ඇති Unity Plaza මෙහෙයුම් පද්ධතිය එහි අනාගත වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. ඒ අනුව ගෝලීය ඩිජිටල් ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන්  Unity Plaza සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව