අලියාන්ස් ලංකා සමාගම වෙතින් රත්නපුර හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම්

Kuruwita_Project (LBN)

 



 

 

අලියාන්ස් ලංකා සමාගම පසුගියදා රත්නපුර කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට අත්වැලක් වෙමින්, රටේ ජනතාවට පිරිසිදු ජල පහසුකම් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. එමෙන්ම මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර 6 වන ඉලක්කය වන, ‘සැමට පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව’ යන්නටද සමගාමී වේ.

සිසුන් 1,000 කට අධික පිරිසක් ඉගෙනුම ලබන හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට මීට පෙර පානීය ජලය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී තිබිණි. යහපත් ඉගෙනුම් පරිසරයක් පවත්වාගෙන යාමට පිරිසිදු පානීය ජල පහසුකම් අත්‍යවශ්‍ය වන බැවින් අලියාන්ස් ලංකා සමාගම පාසල් බලධාරීන් සමග එක් වී මෙම නවීන, කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියකින් යුත් පානීය ජල පද්ධතිය ස්ථාපිත කිරීමට කටයුතු කළේ ය. මෙම පද්ධතියට අඩි 150 ක නළ ළිඳක්, ජලය පිරිසිදු කිරීමේ පහසුකම්, නවීන ජලනල පද්ධතියක් සහ විදුලි බලයෙන් ක්‍රියාකරන ජල පොම්පයක්ද ඇතුළත් වී තිබේ.

2023 මැයි 10 දින මෙම පානීය ජල පද්ධතිය නිල වශයෙන් පාසල වෙත භාරදෙන ලදි. මෙම අවස්ථාවට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී සහ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී රංග ඩයස් යන මහත්වරුන් ඇතුළුව, අලියාන්ස් ලංකා සමාගමේ කලාපීය විකිණුම් හා කළමනාකරණ කණ්ඩායම් නියෝජනය කරන නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ. මෙම උත්සවයේදී අලියාන්ස් ලංකා නියෝජිතයන්ට ඉතාමත් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර, එය මෙම ප්‍රජා සත්කාරය මගින් හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ජීවිතවලට කෙතරම් යහපතක් සිදුවන්නේද යන්න සනාථ කරන සාක්ෂියක් විය.

“පිරිසිදු පානීය ජලය යනු, නිරෝගී සමාජයක් බිහිකිරීම සඳහා අවශ්‍ය මූලික සාධකයක් බව අප විශ්වාස කරනවා. රත්නපුර හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට මෙම පානීය ජල පහසුකම් ලබාදීම මගින් අප උත්සාහ කරන්නේ, මෙහි දරුවන්ට සුරක්ෂිත හා තිරසාර පානීය ජල පහසුකම් ලබාදෙමින්, ඔවුන්ට සිය අධ්‍යාපන කටයුතු කෙරෙහි පූර්ණ අවධානය යොමුකිරීමට අවස්ථාව සලසා දීමටයි.” අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී මහතා පැවසී ය.

මෙම ප්‍රජා සත්කාරය, සමාජ වගකීම් වැඩසටහන් ඔස්සේ විවිධ දුෂ්කරතාවන්ගෙන් පෙළෙන ප්‍රජාවන්ට අත්වැලක් වීම සඳහා අලියාන්ස් ලංකා සමාගම දරන උත්සාහයේ තවත් පියවරකි. මෙම වැඩසටහන මෙම වසරේදී අලියාන්ස් ලංකා සමාගම ක්‍රියාවට නැංවූ ප්‍රථම පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය වන අතර, මෙම වසර තුළ තවත් මෙවැනි ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නැංවීමට සමාගම බලාපොරොත්තු වෙයි.

අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.),  ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලියාන්ස් ලංකා සමාගම සතු දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව