SLT-MOBITEL සහ The Creative Isle වෙතින් සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අන්තර්ජාල වෙළඳපොළක්

Webp.net-resizeimage

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අති-නවීන ඩිජිටල් අන්තර්ජාල වෙළඳපොළක් හඳුන්වා දීම සඳහා The Creative Isle (පුද්.) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙරට ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් වැඩි පාරිභෝගික පිරිසක් වෙත රැගෙන යාමට අවස්ථාව හිමි වේ.

මෙම හවුල්කාරීත්වයේ තාක්ෂණික සහකරු ලෙස, මෙම වැඩසටහන සම්බන්ධ සංකල්පය, සැලසුම, විශේෂඥ දැනුම සහ තාක්ෂණික යටිතල ව්‍යුහය සැපයීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. Weekend Market වැඩසටහනේ නිර්මාතෘ වන TCI සමාගම, තම සන්නාමය යටතේ මෙම වැඩසටහනේ සංවිධායක, ප්‍රවර්ධක සහ සත්කාරක ලෙස කටයුතු කරන අතර, විකුණුම්කරුවන් ලියාපදිංචි කිරීම සහ ගැනුම්කරුවන් හා ගනුදෙනු සම්බන්ධ කටයුතු කළමනාකරණය කිරීම සිදු කරයි.

මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වීම සඳහා SLT-MOBITEL මීට පෙරද වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත. කෙසේ වුවද, පවතින තත්ත්වය යටතේ එම ව්‍යාපාර වලට, සම්ප්‍රදායික ක්‍රමවේදයන් ඔස්සේ පාරිභෝගිකයන් හා සම්බන්ධ වීම දුෂ්කර වී තිබේ.

“COVID-19 රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ කාලයේදී, The Creative Isle සමාගම සති අන්ත වෙළඳපොළ වැඩසටහනක් ක්‍රියාවට නංවනු අප දුටුවා. මෙය ජනතාව, ප්‍රජාවන් හා ව්‍යාපාර වල උන්නතිය සම්බන්ධයෙන් අප විශ්වාස කරන මූලික වටිනාකම් සමගද සමගාමී වන සහ, සමාජ හා ආර්ථික වශයෙන් ප්‍රතිලාභ රාශියක් සලසන පියවරක් බව අපට වැටහුණා.” SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසී ය.

“දිවයින පුරා සුළු පරිමාණ ව්‍යවසායකයන්ට අත්වැලක් වීම සඳහා The Creative Isle සමාගම සති අන්ත වෙළඳපොළ වැඩසටහනක් සංවිධානය කරනවා. මෙම වැඩසටහන සෑම සතියකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල One Galle Face සාප්පු සංකීර්ණයේදී පැවැත්වෙනවා. SLT නිර්මාණය කළ අතථ්‍ය (Virtual) වෙළඳපොළ අප මෙලෙස දියත් කරන්නේ එම වැඩසටහනේ දිගුවක් ලෙසයි. මේ ඔස්සේ ගැනුම්කරුවන්ට හා විකුණුම්කරුවන්ට අන්තර්ජාලය ඔස්සේ එකිනෙකා හමුවී ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබෙනවා.” The Creative Isle (පුද්.) සමාගමේ නිර්මාතෘ කේෂිනී ඈන් සුරවීර මහත්මිය පැවසුවා ය.

තිරසාර හා ප්‍රජා මූලික ව්‍යාපාර වලට මුල්තැන දෙන මෙම සති අන්ත වෙළඳපොළ වැඩසටහන තුළදී අපනයන ප්‍රමිතියෙන් යුත් ජීවන රටා නිෂ්පාදන, විලාසිතා, ආහාරපාන, ඖෂධීය තේ වර්ග, ආයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන, සහ සුවඳ විලවුන් වර්ග ආදිය මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට අවස්ථාව ලැබේ. මේ ඔස්සේ  පාරිභෝගිකයන් වෙත මෙන්ම අනෙකුත් ව්‍යාපාර වෙතද තම නිෂ්පාදන අලෙවි කිරීමට ව්‍යවසායකයන්ට හැකියාව ලැබෙනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව