2021-22 පළමු අර්ධය සඳහා එමිරේට්ස් සමූහය මූල්‍ය වාර්තා එළි දක්වයි

Emirates Group Chairman HH Sheikh Ahmed (1)

 




 

 

එමිරේට්ස් සමූහය විසින් 2021-22 මූල්‍ය වසරේ මුල් මාස හය සඳහා මූල්‍ය වාර්තා ඉදිරිපත් කර තිබේ. මේ අනුව, 2021-22 මුල් මාස හය සඳහා සමූහයේ ආදායම ඩිරාම් බිලියන 24.7 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක්) වී තිබෙන අතර එය පෙර වසරේ මුල් මාස හය තුළදී උපයාගත් ඩිරාම් බිලියන 13.7 (ඇමරිකානු ඩොලර් බිලියන 3.7) ට සාපේක්ෂව 81% ක වර්ධනයකි. රටවල් විසින් සිය කොවිඞ්-19 එන්නත්කරණ වැඩසටහන්වල ඉහළ ප‍්‍රගතියක් වාර්තා කරමින් ලොව පුරා සංචාරක ගමන් සීමාවන් ලිහිල් කිරීම නිසා මෙම ශක්තිමත් ආදායම වාර්තා කිරීමට සමූහය සමත්වී ඇත.

මෙහිදී, සමූහය විසින් 2021-22 අර්ධ වර්ෂය සඳහා ඩිරාම් බිලියන 5.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක) අලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ මුල් මාස හය තුළදී සමූහය විසින් ලබාගත් ඩිරාම් බිලියන 14.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක) අලාභයට සාපේක්ෂව අඩු අලාභයක් වීම කැපී පෙනේ.

මේ අනුව, එමිරේට්ස් සමූහය විසින් ශක්තිමත් මූල්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට සමත් වෙමින් 2021 සැප්තැම්බර් 30 වනදා වනවිට ඩිරාම් බිලියන 18.8 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක) මූල්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට සමත්ව ඇත. 2021 මාර්තු 31 වනදා වනවිට සමූහයේ මූල්‍ය තත්ත්වය ඩිරාම් බිලියන 19.8 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 5.4 ක්) වී තිබේ.

එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඞ් බින්සයීඞ් අල් මක්ටුම් මහතා මෙවර මූල්‍ය වාර්තා පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ‘අපි 2021-22 මූල්‍ය වසර ආරම්භ කරන විට ලෝකය පුරා කොවිඞ්-19 එන්නත්කරණ වැඩසටහන රටවල් විසින් ඉතාමත් වේගයෙන් සිදුකරගෙන ගියා. මේ හමුවේ රටවල් විසින් සංචාරක ගමන් සීමාවන් ලිහිල් කිරීම නිසා අපගේ සමූහයේ මෙහෙයුම් කටයුතු සහ ඉල්ලූම ඉහළ ගිය බව අපි නිරීක්ෂණය කළා. මේ තත්ත්වය ගිම්හාන සෘතුවේදී තවත් වර්ධනය වූ අතර එය ශීත සෘතුව සහ ඉන් ඉදිරියටත් අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් කරනවා.’

‘මේ කාලයේදී අපගේ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය සහ හැසිරවීමේ ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව ශක්තිමත්ව වර්ධනය වුණා. ඒ තුළින් ඉතාමත් ඉක්මනින් මගී ගුවන් කටයුතු ආරම්භ කිරීමට හොඳ පදනමක් වැටුණා. කෙසේවෙතත්, වසංගතයට පෙර පැවති මට්ටමට ලාභ ලැබීමට අපිට තවත් ඉදිරියට ගමන් කිරීමට සිදුවෙනවා. මේ අනුව, යළිත් යථාතත්ත්වයට පත්වීමට යන ගමනේ හොඳින් ඉදිරියට ගමන් කරමින් අපි 2021-22 අර්ධ වර්ෂය සඳහා ශක්තිමත් මුදල් ශේෂයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.’

එමිරේට්ස් ගුවන් සේවය විසින් 2021 අපේ‍්‍රල් 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා ගුවන් මගීන් මිලියන 6.1 ක් ප‍්‍රවාහනය කිරීමට සමත්ව තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 319% ක වර්ධනයක් වේ. මේ අතර, මෙම කාලයේදී ප‍්‍රවාහනය කළ ගුවන් භාණ්ඩ ප‍්‍රමාණය ටොන් මිලියන 1.1 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 39% ක වර්ධනයක් මෙන්ම 2019 කොවිඞ් වසංගතය පැතිරීමට පෙර ප‍්‍රවාහනය කළ ගුවන් භාණ්ඩ වලින් යළිත් 90% ක ප‍්‍රමාණයක් නැවත අත්පත් කර ගැනීමකි. මේ තුළින් පෙන්නුම් කරන්නේ එන්නත් වුවද, ඖෂධ වුවද, අත්‍යවශ්‍ය භාණ්ඩ වුවද, අශ්වයන් සහ මෝටර් රථ වුවද පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් අනුව ප‍්‍රවාහනය කිරීමට කැමත්තකින් සහ හැකියාවකින් එමිරේට්ස් ගුවන් සේවය පසුවන බවයි.

2021-22 මූල්‍ය වසරේ මුල් අර්ධය තුළදී එමිරේට්ස් ගුවන් සමාගම ඩිරාම් බිලියන 5.8 ක (ඩොලර් බිලියන 1.6 ක) අලාභයක් වාර්තා කර තිබෙන අතර පෙර වසරේ අදාළ කාලයේදී ගුවන් සමාගම ඩිරාම් බිලියන 12.6 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.4 ක) අලාභයක් වාර්තා කරන ලදී. මේ අතර, අනිකුත් මෙහෙයුම් ආදායම්ද ඇතුළත්ව එමිරේට්ස් ආදායම ඩිරාම් බිලියන 21.7 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 5.9 ක්) වී තිබෙන අතර එය පසුගිය වසරේ අදාළ කාලය සඳහා වාර්තා වූ ඩිරාම් බිලියන 11.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක) ආදායමට සාපේක්ෂව 86% ක වර්ධනයකි.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව