සෙලාන් බැංකුව 2025 පළමු කාර්තුවේදී රු. බිලියන 2.76 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

CEO Ramesh Jayasekara (LBN)

සෙලාන් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 4,199 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 3,704 ට සාපේක්ෂව 13.36% ක වර්ධනයකි.

2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 සඳහා සෙලාන් බැංකුව රු. මිලියන 2,761 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මෙය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 2,295 ට සාපේක්ෂව 20.29% ක වර්ධනයකි.

  • ආදායම් බදුවලට පෙර ලාභය 13.36% කින් ඉහළ ගොස් රු. මිලියන 4,199 ක් ලෙස වාර්තා වෙයි
  • බදු පසු ලාභය රු. මිලියන 2,761 ක්: 20.29% ක වර්ධනයක්
  • ද්‍රවශීලතා ආවරණ අනුපාතය – සියලු විනිමය වර්ග සඳහා 389.25% සහ රුපියල් සඳහා 349.51%
  • හිමිකම් මත ප්‍රතිලාභය 15.81%
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 17.64%
  • හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.98%



මූල්‍ය ක්‍රියාකාරීත්ව ප්‍රකාශය

2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 ක කාලය සඳහා සෙලාන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම, පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 9,371 ට සාපේක්ෂව 8.37% කින් පහළ ගොස් රු. මිලියන 8,587 ක් ලෙස වාර්තා වී ඇත. වෙළඳපොළ පොලී අනුපාත පහළ යාම සහ ණය හා තැන්පතු ප්‍රතිමිලකරණය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකයද 2024 වසරේදී වාර්තා වූ 4.90% ට සාපේක්ෂව 2025 ප්‍රථම කාර්තුවේදී 4.45% දක්වා පහළ ගොස් තිබේ. බැංකුවේ ශුද්ධ ගාස්තු මත පදනම් වූ ආදායම පසුගිය වසරේ වාර්තා වූ රු. මිලියන 1,837 ට සාපේක්ෂව 2025 පළමු කාර්තුවේදී රු, මිලියන 2,091 දක්වා 13.83% කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ණය, කාඩ්පත්, ප්‍රේෂණ, වෙළඳ සේවාවන් සහ වෙනත් මූල්‍ය සේවාවන් වෙතින් ලැබුණු ගාස්තු ආදායමේ වර්ධනයයි.

බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 11,258 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය පෙර වසරේදී වාර්තා වූ රු. මිලියන 11,707 ට සාපේක්ෂව 3.83% ක පහළ යාමක් වන අතර, ශුද්ධ පොලී ආදායම පහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

වෙළඳ කටයුතුවලින් ලැබුණු ශුද්ධ ආදායම, මූල්‍ය වත්කම් බැහැර කිරීමෙන් ලැබුණු ආදායම සහ ශුද්ධ වෙනත් මෙහෙයුම් ආදායම් යනාදියෙන් සමන්විත වෙනත් ආදායම් පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරයි.

2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 ක කාලපරිච්ඡේදය තුළ බැංකුවේ සමස්ත මෙහෙයුම් පිරිවැය, 2024 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රු. මිලියන 5,126 ට සාපේක්ෂව රු. මිලියන 5,363 දක්වා 4.62% කින් වර්ධනය වී තිබේ. ප්‍රධාන වශයෙන් කාර්ය මණ්ඩලයට ලබාදෙන ප්‍රතිලාභ වැඩි කිරීම හේතුවෙන් බැංකුවේ මානව සම්පත් පිරිවැය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 2,718 ට සාපේක්ෂව රු. මිලියන 2,806 දක්වා 3.22% කින් ඉහළ ගොස් ඇත.

වෙනත් මෙහෙයුම් පිරිවැය සහ අවප්‍රමාණ හා ක්‍රමක්ෂය පිරිවැයද 6.19% කින් වර්ධනය වී ඇති අතර, අදාළ කාලපරිච්ඡේදය තුළ භාණ්ඩ හා සේවාවන්හි මිලගණන් ඉහළ යාම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. විවිධ පිරිවැය පාලන විධිවිධාන ඔස්සේ මෙම පිරිවැය අවම කිරීම සඳහා බැංකුව පියවර ගනිමින් සිටී.

2024 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 1,555 ක් වූ බැංකුවේ හානිකරණ වියදම, මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළ රු. මිලියන 262 දක්වා 83.17% කින් පහළ ගොස් තිබේ.  මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් බව සහතික කිරීම සඳහා බැංකුව විසින් ගෝලීය සහ දේශීය ආර්ථිකයේ වෙනස්කම්, ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ ණය ගුණාත්මකභාවය ග්‍රහණය වන පරිදි හානිකරණ ණය ප්‍රතිපාදන සලසා ඇති බවට සහතික කරගැනීමට පියවර ගෙන ඇත. බැංකුවේ හානිකරණ ණය (අදියර 3) අනුපාතයේ වත්කම් ගුණාත්මකභාවයේ අනුපාතය 1.98% ක් වූ අතර (2024-2.10%), අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 2025 මාර්තු 31 දින වන විට 80.74% ක් වැනි යහපත් මට්ටමක පැවතිණි.

ආදායම් බදු පිරිවැය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට වාර්තා කළ රු. මිලියන 1,409 ට සාපේක්ෂව මේ වසරේ 2.08% කින් ඉහළ ගොස් රු. මිලියන 1,438 ක් ලෙස වාර්තා විය. මූල්‍ය සේවාවන් මත අගය එකතු කළ බද්ද 2025 වසරේ පළමු මාස 3 තුළ රු. මිලියන 1,160 සිට රු. මිලියන 1,260 දක්වා ඉහළ ගිය අතර එය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 8.58% ක වර්ධනයකි. සමාජ ආරක්ෂණ දායකත්වය බද්ද 2025 පළමු මාස 3 තුළ රු. මිලියන 161 සිට රු,. මිලියන 175 දක්වා වර්ධනය වූ අතර මෙය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව  8.58% ක වර්ධනයකි.

සමස්තයක් ලෙස බැංකුවේ 2025 පළමු කාර්තුවේ බදු පසු ලාභය රු. මිලියන 2,761 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය 2024 වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 20.29% ක වර්ධනයකි.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම 2025 පළමු කාර්තුව තුළ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. බිලියන 779 සිට රු. බිලියන 785 දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම තම ගනුදෙනුකරුවන් එලෙසින්ම රඳවා ගන්නා අතරම බැංකු ණය සහ තැන්පතු සේවාවන් ඔස්සේ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමටද බැංකුව පියවර ගෙන ඇත. බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. බිලියන 469 ක් ලෙස වාර්තා වී ඇති අතර, තැන්පතු රු. බිලියන 647 ක් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA Ratio) 29% ක් විය.

ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක

සෙලාන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක 2025 මාර්තු 31 දින වන විට යහපත් මට්ටමක පැවතුණු අතර, ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පැහැදිලි ලෙසම නියාමන අවශ්‍යතාවන්ට ඉහළින් පැවතිණි. බැංකුවේ සාමාන්‍ය කොටස් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (Common Equity Tier 1 Capital Ratio & Total Tier 1 Capital Ratio) 13.67% ක් සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය (Total Capital Ratio) 17.64% ක් විය.

ද්‍රවශීලතා ආවරණ අනුපාත ව්‍යවස්ථාපිත මට්ටම්වලට වඩා ඉහළ අගයක පවත්වා ගැනීමටද බැංකුවට හැකියාව ලැබිණි. සියලු විනිමය වර්ග ද්‍රවශීලතා ආවරණ අනුපාතය 389.25% ක් වූ අතර, රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය 349.51% ක් විය.

බැංකුවේ හානිකරණ ණය (අදියර 3) සම්බන්ධ වත්කම් ගුණාත්මකභාවයේ අනුපාතය [Asset Quality Ratio of Impaired Loan (Stage 3) Ratio] සහ අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතයක් (Stage 3 Provision Cover ratio) පිළිවෙළින් 1.98% (2024 – 2.10%) සහ 80.74% (2024- 80.90%) ක් විය.

මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළ සෙලාන් බැංකුවේ හිමිකම් මත ප්‍රතිලාභය 15.81% ක් (2024 – 15.35%) ක් වූ අතර, සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර ලාභය) 2.18% ක් (2024 – 2.14%) ක් විය. මෙම අගයන් පෙර වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරයි.

බැංකුවේ කොටසක් සඳහා ඉපැයුම පෙර වසරේ පළමු කාර්තුවේදී රු. 3.61 ක් වූ අතර, එය 2025 පළමු කාර්තුවේදී රු. 4.34 ක් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම 2025 මාර්තු 31 දින වන විට රු. 111.94 ක් (සමූහයේ රු. 115.14) ක් විය.

2025 වසරේ පළමු කාර්තුව තුළ සෙලාන් බැංකුව විසින් විවෘත කරන ලද ‘සෙලාන් පැහැසර’ පුස්තකාල ගණන 16 කි. මේ වනවිට සෙලාන් පැහැසර පුස්තකාල සංඛ්‍යාව 281 ක් බවට පත් වී තිබේ. මෙය දිවයින පුරා වෙසෙන දරුදැරියන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයට මනා සාක්ෂියකි.

2025 ජනවාරි 21 දින ෆිච් ශ්‍රේණිගත කිරීම් (Fitch Ratings) මගින් සෙලාන් බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය පියවර දෙකකින්, එනම් ස්ථාවර ප්‍රතිරූපය (Stable Outlook)  සමග  ‘A+(lka)’ දක්වා උසස් කරන ලදී.

Home

Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව