සෙලාන් බැංකුව 2024 ප්‍රථම අර්ධයේ රු. බිලියන 4.56 ක ශක්තිමත් බදු පසු ලාභයක් වාර්තා කරයි

CEO Ramesh Jayasekara (LBN)
  • බදු පෙර ලාභය රු. මිලියන 7,331 ක් – 76% ක වර්ධනයක්
  • බදු පසු ලාභය රු. මිලියන 4,558 ක් – 77% ක වර්ධනයක්
  • ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR): සියලු මුදල් වර්ග – 412.63% / රුපියල් – 472.95%
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 15.35%
  • හානිකරණ ණය අනුපාතය 3.50%

සෙලාන් බැංකුව, 2024 ජූනි 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක කාලසීමාව සඳහා රු. මිලියන 4,558 ක බදු පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. මෙය 2023 වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 2,575 ක බදු පසු ලාභයට සාපේක්ෂව 77% ක් වැනි සුවිශේෂී වර්ධනයකි. අභියෝගකාරී වෙළඳපොළ තත්ත්වයන් හමුවේ පවා බදු පෙර ලාභයද 76% කින් වර්ධනය වී රු. මිලියන 7,331 ක් ලෙස වාර්තා වී තිබේ.
 



 

බැංකුවේ ශුද්ධ පොලී ආදායම රු. මිලියන 20,468 සිට රු. මිලියන 18,590 දක්වා 9.18% කින් පහළ ගොස් ඇති අතර, ශුද්ධ පොලී ආන්තිකය 5.76% සිට 5.17% දක්වා පහළ ගොස් තිබේ. ප්‍රධාන වශයෙන් කාඩ්පත්, ප්‍රේෂණ සහ වෙනත් ණය දීම් සේවාවන් මගින් ලැබෙන ආදායම වර්ධනය වීම හේතුවෙන් ශුද්ධ ගාස්තු පදනම් කරගත් ආදායම 6.29% කින් වර්ධනය වී ඇත. සමස්ත මෙහෙයුම් ආදායම, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.41% කින් පහළ ගොස් රු. මිලියන 23,279 ක් ලෙස වාර්තා වී ඇති අතර, ශුද්ධ පොලී ආන්තිකයන් පහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. වෙළඳ කටයුතු මගින් ලැබුණු ආදයම් සහ මූල්‍ය වත්කම් බැහැර කිරීම මගින් ලැබුණු ආදායම් ඇතුළු වෙනත් ආදායම් 52% කින් වර්ධනය වී ඇත.

බැංකුවේ මෙහෙයුම් වියදම් රු. මිලියන 9,128 සිට රු. මිලියන 10,388 දක්වා 13.80% කින් ඉහළ ගොස් ඇති අතර, කාර්ය මණ්ඩලයට ලබාදෙන ප්‍රතිලාභ වැඩි කිරීම හේතුවෙන් මානව සම්පත් පිරිවැය 18.69% කින් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. 2023 වසරේ ප්‍රථම මාස 6 තුළ රු. මිලියන 9,559 ක් වූ බැංකුවේ හානිකරණ ණය වියදම්, මෙම කාලසීමාව තුළදී 69% කින් පහළ ගොස් රු. මිලියන 2,956 ක් ලෙස වාර්තා වී ඇති අතර, ණය ගුණාත්මකභාවය වර්ධනය වීම සහ ණය නැවත අයකර ගැනීමේ වැඩසටහන් සාර්ථක වීම මීට හේතු වී තිබේ.

පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේදී ආදායම් බදු වියදම් රු. මිලියන 2,773 දක්වා 75.31% කින් ඉහළ ගොස් ඇති අතර, මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු වියදම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු වියදම පිළිවෙළින් 47.43% කින් සහ 47.07% කින් ඉහළ ගොස් තිබේ.

2024 ජූනි 30 දින වනවිට බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 725 ක් ලෙස වාර්තා විය. ණය සහ අත්තිකාරම් අක්‍රීය වීමේ ශුද්ධ අගය රු. බිලියන 434 ක් ලෙස වාර්තා වී ඇත. තැන්පතු අගය රු. බිලියන 603 ක් වූ අතර, දේශීය මුදල් ඒකකය ශක්තිමත් වීම නිසා දේශීය තැන්පතුවල කැපීපෙනෙන වර්ධනයක් සහ විදේශ මුදල් තැන්පතුවල අඩු වීමක් පෙන්නුම් කරයි.

යහපත් ප්‍රාග්ධන ප්‍රමාණතා තත්ත්වයක් පවත්වා ගැනීමට බැංකුවට හැකි වූ අතර, පොදු කොටස් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය 12.40% ක්  සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 15.35% ක් විය. සියලුම මුදල් වර්ග සඳහා ද්‍රවශීලතා ආවරණ අනුපාතය 412.63% ක්ද, රුපියල් සඳහා ද්‍රවශීලතා ආවරණ අනුපාතය 472.95% ක්ද ලෙස වාර්තා වී තිබේ. හානිකරණ ණය (3 වන පෙළ) අනුපාතය 3.50% ක් සහ 3 වන පෙළ හානිකරණ ණය, 3 වන පෙළ ණය අගයට අනුපාතය 70% ක් (ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගය 51% ක්) විය. මෙය ණය නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් බැංකුව විචක්ෂණශීලී පිළිවෙතක් අනුගමනය කරන බවට මනා සාක්ෂියකි.

2024 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ ‘සෙලාන් පැහැසර’ මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් නව පුස්තකාල 10 ක් විවෘත කිරීමටද සෙලාන් බැංකුව කටයුතු කළේ ය. ‘සෙලාන් පැහැසර’ යනු දිවයින පුරා දරු දැරියන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීමේ අරමුණින් ක්‍රියාවට නංවනු ලබන සුවිශේෂී ප්‍රජා සත්කාරයකි. අදාළ කාලසීමාව අවසන් වනවිට රට පුරා සෙලාන් පැහැසර පුස්තකාල 235 ක් පිහිටුවා තිබිණි.

බැංකුවේ හිමිකම් මත ප්‍රතිලාභ 14.60% දක්වා වර්ධනය වූ අතර, කොටසක් සඳහා ඉපැයුම රු. 7.17 ක් දක්වා වර්ධනය විය. කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම රු. 101.37 ක් ලෙස වාර්තා වී තිබේ. එමෙන්ම බැංකුව රු, බිලියන 10 ක ප්‍රාග්ධන ප්‍රමාණතා (Basel III) අනුකූල දෙවැනි පෙළ ණයකර නිකුතුවක් සාර්ථක ලෙස සිදුකළ අතර, මෙය බැංකුවේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය මෙන්ම ආයෝජකයන් බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසය මැනැවින් නිරූපණය කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව