සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය SLIBFI Awards 2025 හිදී  ‘වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුව’ සම්මානයෙන් පිදුම් ලබයි

Image 01

සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය, පසුගියදා පැවති ‘SLIBFI Awards 2025’ හිදී ‘වසරේ විශිෂ්ටතම ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුව’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ඒ නැගෙනහිර පළාතේ ක්‍රියාවට නැංවූ සුවිශේෂී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙනි. සෙලාන් බැංකුවේ ආයතනික බැංකුකරණ – ව්‍යාපෘති මූල්‍ය අංශය විසින් යෝජනා මට්ටමේදී මෙම ව්‍යාපෘතියට අදාළ ගනුදෙනු කටයුතු ආරම්භ කළ අතර, පසුව ඉස්ලාමීය බැංකුකරණ ඒකකය මගින් එහි මූල්‍ය පහසුකම් ව්‍යුහගත කිරීම සහ ලිපිලේඛන කළමනාකරණය කිරීම සිදුකරන ලදී.



මෙම ගනුදෙනුව යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශයේ මෙගාවොට් 10 ක බිම්ගත සූර්ය බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පිහිටුවන ලද විශේෂ කාර්ය සමාගමක් වන සූර්යශක්ති (පුද්.) සමාගම වෙත ‘Diminishing Musharak’ ක්‍රමයට මූල්‍ය පහසුකම් සපයන ලදී. ‘සූර්යබල සංග්‍රාමය’ යෝජනා ක්‍රමය යටතේ තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් හරහා ප්‍රදානය කරන ලද මෙම ව්‍යාපෘතිය, 2030 වසර සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ පුළුල් පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙනු ඇත.

මෙම ව්‍යාපෘතියෙහි මුළු පිරිවැය රුපියල් බිලියන 2.3 ඉක්මවන අතර, එය මෙම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ විශාලත්වය සහ ක්‍රමෝපායික වැදගත්කම හඟවන සාධකයක් ලෙස හැඳින්විය හැක. සූර්යශක්ති (පුද්.) සමාගම යනු විදුලංකා පීඑල්සී සහ වින්ඩ්ෆෝර්ස් පීඑල්සී යන සමාගම් අතර හවුල්කාරීත්වයක් ලෙස ආරම්භ වූ සෝලාර් යුනිවර්ස් (පුද්.) සමාගමේ පූර්ණ අයිතියට යටත් අනුබද්ධ සමාගමකි. තවද සෝලාර් යුනිවර්ස් (පුද්.) සමාගම මේ වන විට සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය මගින් මූල්‍ය පහසුකම් සපයන ලද මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ පළමු අදියරේ අධීක්ෂණ කටයුතු සිදුකරයි.

මෙම ගනුදෙනුව මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයටද අතිශයින් වැදගත්ය. වසර 20 ක් වැනි කෙටි ඉතිහාසයක් සහිත ඒකකයක් වුවද, සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය තමන්ට ෂරියා විධිවිධානවලට අනුකූල ක්‍රමවේදයන් භාවිතා කරමින් මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ හැකියාව ඇති බව සනාථ කර ඇත. මෙම ගනුදෙනුව සඳහා අනුගමනය කළ Diminishing Musharaka ක්‍රමය, රටේ සංවර්ධන කටයුතුවලදී ඉස්ලාමීය මූල්‍යකරණය කෙතරම් ඵලදායී ලෙස යොදාගත හැකිද යන්න තහවුරු කරන මනා සාක්ෂියකි.

වාර්ෂිකව ගිගාවොට් 18.25 ක් ජනනය කරන මෙම ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10 ක දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙමගින් වාර්ෂිකව ඉන්ධන ලීටර් බිලියන 5 ක් පමණ ඉතිරි කරගැනීමට හැකි වන අතර, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මෙට්‍රික් ටොන් 12,709 කින් අඩු වනු ඇත. ඒ අනුව එය 2050 වසර වන විට කාබන් ශූන්‍යත්වයට පත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට මහඟු පිටිවහලක් වනු නිසැකය.

“මෙම සම්මානය අප තිරසාර සංවර්ධනය සහ නව්‍ය මූල්‍ය විසඳුම් සම්බන්ධයෙන් දක්වන උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියක්. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරටත් මූල්‍ය පහසුකම් සැපයීමට අපට හැකි වුණා. මේ ආකාරයට ජාතික බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට දායක වන ව්‍යාපෘතිවලට අත්වැලක් වන අතරම, ඉස්ලාමීය මූල්‍ය සම්ප්‍රදාය කෙතරම් ඵලදායී ලෙස භාවිතා කළ හැකිද යන්න පෙන්වා දීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.” සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකයේ ප්‍රධානී සමීර් මොහොමඩ් මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය දේශීය ඉංජිනේරුකරණයේ හැකියාවන් මෙන්ම, මෙබඳු විශාල මට්ටමේ ව්‍යාපෘති දේශීය මට්ටමින් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමේ හැකියාවට මනා සාක්ෂියකි. එමෙන්ම වාණිජ හා පාරිසරික ඉලක්ක ළඟා කරගැනීමේ අරමුණින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමේ ප්‍රවණතාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවද මෙමගින් පැහැදිලි වේ. එපමණක් නොව මෙය වෙනත් ඉස්ලාමීය මූල්‍ය ආයතනද පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට දිරිගන්වන සාධකයක් බවට පත් වනු නිසැකය.

2018 අගෝස්තු මාසයේදී ආරම්භ වූ සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකු ඒකකය එදා පටන් මේ දක්වා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවලද පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රැසකට මූල්‍ය පහසුකම් සපයා තිබේ.

Home  Facebook


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව