සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ වැඩසටහනෙන් යළි ජීවය ලද කුඹුරුපිටිය වැව ජනතා අයිතියට පැවරේ

Image (LBN)

ගොවි පවුල් 500කට ආසන්න ප්‍රමාණයකගේ බත සරි කරමින් බිම් අක්කර 105ක් අස්වැද්දිමට සමත් වේ

ශ්‍රී ලාංකේය ජන හද ගැස්ම හොඳින් හඳුනා ගනිමින් දේශීයත්වයට කවදත් මුල්තැන ලබා දෙන සම්පත් බැංකුව ‘වැවට ජීවයක්’ වැඩසටහන යටතේ තවත් එක් සමාජ සත්කාරයක් සාර්ථකව ජනතා අයිතියට පවරා දෙන ලදී. සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීම උදෙසා දශක ගණනාවක් පුරාවට දියවර සැපයූ, දැනට අභාවයට යමින් පවතින සහ ප්‍රතිසංස්කරණය කළ හැකි තත්ත්වයේ පවතින වාරිමාර්ග පද්ධති යළි පණ ගැන්වීම මෙහි පරමාර්ථය වේ. ඒ අනුව ‘වැවට ජීවයක්’ වැඩසටහන ඔස්සේ දීර්ඝ කාලයක් තිස්සේ අඩපණව තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කුඹුරුපිටිය වැව ප්‍රතිසංස්කරණය කරමින් එම ප්‍රදේශයේ ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීමට හැකියාව ලැබුණි. ඒ අනුව ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ජීවනෝපායයන්ට නැවුම් බලාපොරොත්තුවක් එකතු කරමින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ කුඹුරුපිටිය වැව ජනතා අයිතියට පැවරීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබීය.

 



 
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරුපිටිය වැව, ගොවි පවුල් 178කටත් මෙන්ම අවට ගම්මාන 5ක වෙසෙන තවත් ගොවි පවුල් 300කට පමණ සිය ජීවනාලිය පවත්වාගෙන යාම උදෙසා දායක වූ වාරි නිර්මාණයකි. මහසෙන් රජු විසින් සාදන ලද කියවෙන මෙම වැව ඉතාමත් සශ්‍රීක අන්දමින් ප්‍රදේශයේ ගොවිබිම් සරුසාර කිරීමට සමත්ව තිබුණද, දිගු කාලයක් පටන් අබලන්ව තිබීම හේතුවෙන් ජල කළමනාකරණය සිදු කර ගැනීමට නොහැකිව ප්‍රදේශයේ ගොවියන් තම සුපුරුදු ජීවනෝපාය අත්හැර දමා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පාමින් සිටියහ. ඇතැම් කන්නවලදී ජලය සපයා ගැනීමේ ගැටලුව මත ප්‍රදේශයේ කුඹුරු යායවල් පුරන් වී විනාශ වූ වාරයන් අනන්තවත්ය. මෙවන් දුෂ්කරතාවන්ට මුහුණු දුන් එම ගොවියන්ගේ දුක්බර හඬට සවන් දුන් සම්පත් බැංකුව සිය කාලෝචිත වගකීම ඉටු කරලීමට මුල පුරනු ලැබීය. එම කාලෝචිත මුල පිරීම මගින් අද වනවිට කුඹුරුපිටිය වැවේ ප්‍රධාන සොරොව්ව, ප්‍රධාන අමුණු 3 මෙන්ම වේලි පද්ධතිය සාර්ථකව ප්‍රතිසංස්කරණය කර තිබේ. ඒ අනුව පින්නපොලේගම ග්‍රාමයේ ගොවි ජනතාවට නැවතත් යල සහ මහ කන්න වලදී සාර්ථකව සිය කුඹුරු ගොවිතැන් ඇතුළු සෙසු බෝග වගාවන්හි යුහුසුළුව නිරත වීමේ භාග්‍යයය හිමි ව තිබේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ තාක්ෂණික සහයෝගය සහ මඟපෙන්වීම යටතේ යළිත් ජීවය ලබා දීමට සමත් වූ කුඹුරුපිටිය වැව, සුපුරුදු පරිදි නැවතත් කුඹුරු අක්කර 105ක් රිසි සේ අස්වැද්දීමට දියවර සපයනු ලබයි.

මෙම කාලෝචිත ව්‍යාපෘතිය පිළිබඳව සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නකි.  “සම්පත් බැංකුව විසින් ක්‍රියාවට නංවා තිබෙන මෙම ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තවත් එක් සාර්ථක පියවරක් වශයෙන් කුඹුරුපිටිය වැව ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පත් කරන්නට ලැබීම පිළිබඳව සතුටු වන අතර මේ වනවිට මෙම වැඩසටහන ඔස්සේ රටපුරා තිබෙන වාරි පද්ධති 21ක් පමණ මනා ලෙස ප්‍රතිසංස්කරණය කොට ලබා දී තිබෙනවා. දේශගුණික විපර්යාසයන් සමඟ කෘෂිකර්මාන්තයේ නියැලීම අද බොහෝ ගොවියන් අත්හැර දමා තිබෙන නිසා, වර්තමාන පරපුර නැවතත් මෙම ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය වෙත හරවා ගැනීමට මෙවැනි වැඩසටහන් විශාල පිටිවහලක් සපයනු බව නොඅනුමානයි. එම නිසා අනාගතය දකින බැංකුවක් ලෙස මෙම කාලෝචිත උතුම් කර්තව්‍යයට දායක වන්නට ලැබිම ගැන නිහතමානී ආඩම්බරයක් අප තුළ තිබෙනවා”

දේශීය කෘෂිකර්මාන්තයේ හදවත බඳු වාරි පද්ධතිය, දෙස් විදෙස් විද්වතුන්ගේ පවා ඉහළ ඇගැයීමට ලක් වූ හෙළ විශ්මිත නිර්මාණයකි. විශේෂයෙන් නූතන වාරි තාක්ෂණයට පවා අභියෝග කළ හැකි තාක්ෂණයකින් නිර්මාණය වූ මෙය, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය, ශක්තිය ලොවට විදහා දැක්විමට සමත් වූ පෞරාණික උරුමයකි. පසුකාලීනව විවිධ හේතූන් මත මෙම වාරි පද්ධතීන් නිසි පරිදි නඩත්තු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස පීඩාවට පත් එම ප්‍රදේශයේ ජනතාව සම්බන්ධයෙන් අවධානය යොමුකළ සම්පත් බැංකුව, එම ජනතාව වෙත ශක්තියක් වෙමින් සහ දේශීය වාරි කර්මාන්තයට යළි පණපෙවීමේ අරමුණින් මෙම සුවිශේෂී ‘වැවට ජීවයක්’ වැඩසටහන දියත් කිරීමට යොමුවිම, ශ්‍රී ලාංකීය ජනතාවගේ හෙට දිනය එළිය කිරීම  වෙනුවෙන් සිය කැපවීම මැනවින් තහවුරු කරනු ලබන කර්තව්‍යයකි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව