ශ‍්‍රී ලංකාවේ පළමු වරට කාඞ් වෙතට මුදල් හුවමාරු කිරීම සඳහා කොමර්ෂල් බැංකු ‘Visa Direct’ සහ ‘Mastercard Send’ හඳුන්වා දෙයි

a

 



 

 

‘Visa Direct’ සහ ‘Mastercard Send’ යන කාඞ් පදනම් කරගත් කාඞ්පත් අතර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් ශ‍්‍රී ලංකාව තුළ පළමු වරට සක‍්‍රීය කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

මෙම නවතම ඩිජිටල් පියවර මගින් කොමර්ෂල් බැංකුවේ Visa සහ Mastercard ඩෙබිට් සහ ප‍්‍රීපේඞ් කාඞ් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ ස්වයංකී‍්‍රය යන්ත‍්‍ර මගින් සහ Q+  ගෙවීමේ ඇප් පහසුකම මගින් දේශීයව නිකුත් කර තිබෙන  ඕනෑම Visa සහ Mastercard ඩෙබිට්, ක්‍රෙඩිට් හෝ ප‍්‍රීපේඞ් කාඞ් පතකට මුදල් හුවමාරු කළ හැකිවේ.

මෙහිදී, ගනුදෙනුකරුවන් කොමර්ෂල් බැංකුවේ ATM හෝ CRM යන්ත‍්‍ර භාවිතා කරමින් මුදල් හුවමාරු කරන විට කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් හෝ ප‍්‍රීපේඞ් කාඞ් යවන්නාගේ කාඞ්පත ලෙස භාවිතා කළ හැකිවේ. එසේම, මුදල් යවන්නාගේ කොමර්ෂල් බැංකු ඩෙබිට් හෝ ප‍්‍රීපේඞ් කාඞ් වලට ඒකාබද්ධ කර තිබෙන ඉතිරි කිරීමේ ගිණුම් හෝ ජංගම ගිණුම් මුදල් මූලාශ‍්‍රය ලෙස මෙහිදී භාවිතා කළ හැකි බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ Visa සහ Mastercard ජාලයන් භාවිතා කරමින් මෙම ගනුදෙනු සිදුකරන නිසා බැංකු අතර අධි සුරක්ෂිතව සහ පහසුවෙන් මුදල් හුවමාරු කිරීමට මින් අවස්ථාව ලැබෙන බවයි. Q+ ගෙවීමේ ඇප් පහසුකම මගින් මුදල් ලබන්නාගේ අංක 16 කින් යුතු කාඞ් අංකය ඇතුළත් කිරීමෙන් ඉතාමත් පහසුවෙන් මෙම ගෙවීම් සිදුකළ හැකිවේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී –  පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම නව්‍ය හඳුන්වාදීම මගින් ගනුදෙනුකරුවන්ට ඉහළම පහසුවක් සහ සේවාවක් ලැබෙනවා. ගෝලීයව කීර්තියට පත්ව තිබෙන Visa Direct සහ Mastercard Send සමග එක්ව කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වාදී තිබෙන මෙම නවතම මුදල් හුවමාරු පද්ධතිය මගින් ව්‍යාපාර, රජයේ ආයතන, පුද්ගලික සමාගම් මෙන්ම වෙළෙඳුන්ට විවිධ කටයුතු සඳහා මුදල් මුදා හැරිය හැකියි. උදාහරණයක් විදිහට වේතන ගෙවීමට, සැපයුම්කරුවන්ට ගෙවීමට, වෙළෙඳ ගනුදෙනු වලදී නැවත මුදල් ලබාදීමට මෙම පද්ධතිය යොදාගන්න පුළුවන්. අපේ අරමුණ වෙන්නේ නව්‍ය වූ නිෂ්පාදන සහ සේවා මගින් පාරිභෝගික සේවාවේ සහ අත්දැකීමේ සීමා මායිම් නිරන්තරයෙන් පුළුල් කිරීමයි.’

Visa සමාගමේ ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකාරිනී, අවන්ති කොළඹගේ මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වූවාය. ‘පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට සිදුකරන මුදල් හුවමාරුවේදී කොමර්ෂල් බැංකුව සමග එක්වී ඊළඟ පරම්පරාවේ මුදල් හුවමාරු විසඳුම් ලබාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙය කොමර්ෂල් බැංකුවේ සියළුම පාරිභෝගික නාලිකා මගින් ලබාගත හැකියි. බැංකුවේ Visa කාඞ් හිමියන්ට ඔවුන් ශ‍්‍රී ලංකාව තුළ ඩිජිටල් ආකාරයෙන් මුදල් හුවමාරු කිරීමේදී සරලව, වේගයෙන් විනිවිද භාවයෙන් එම මුදල් හුවමාරු කිරීමේ අවස්ථාව අපි විසින් ලබාදෙනවා.’

එසේම, මේ පිළිබඳව Mastercard හි, ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකරු, සඳුන් හපුගොඩ මෙසේ අදහස් දැක්වීය. ‘කාඞ්පත් අතර මුදල් හුවමාරු කිරීමේ කටයුත්ත මෙතරම් සරල කිරීමට කොමර්ෂල් බැංකුව විසින් තැබූ පියවරට Mastercard ප‍්‍රශංසා කරන්න කැමතියි. මේ තුළින් මෙරට බැංකු කර්මාන්තය ප‍්‍රතිලාභ ලබන අතර ශ‍්‍රී ලංකාවේ අනිකුත් බැංකු මේ දිශාවට ගමන් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව