ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, විභේදන ක්‍රියාවලියෙන් අනතුරුව ශක්තිමත් වර්ධනයක් අත්කරගැනීමට සූදානම්

Group Chief Executive Office

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි සාමාන්‍ය රක්ෂණ අනුබද්ධ සමාගමවන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), 2024 වසරේ පෙබරවාරි මස 01 වන දින නිල වශයෙන් විභේදනය වීමෙන් අනතුරුව ව්‍යාපාර වර්ධනයේ සහ නවෝත්පාදනයේ නව මාවතකට පිවිස සිටී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මෙසේ අදහස් පළකළේ ය. “වසර 62 ක් පුරා අත්කරගත් දැවැන්ත සාර්ථකත්වයෙන් අනතුරුව, පවතින නීති ප්‍රකාරව අපගේ සමාගම ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ වශයෙන් සමාගම් දෙකක් බවට විභේදනය වුණා. මෙය අපගේ මූලික ව්‍යාපාර ක්‍රමෝපායන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින්, පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ලැබුණු අවස්ථාවක් ලෙස අප දකිනවා. නිල වශයෙන් වෙනම ආයතන ද්විත්වයක් ලෙස ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවබෝධ කරගනිමින් අප නියාමන අවශ්‍යතා මෙන්ම වෙළඳපළ ප්‍රවණතාවන්ට අනුවර්තනය වෙමින් අදාළ කාණ්ඩ අනුව වෙන් වෙන්ව කටයුතු කිරීම සඳහා සූදානම් වීම ආරම්භ කළේ 2018 වර්ෂයේදීයි.”

 



 

ඔහු තව දුරටත් අදහස් දක්වමින් “2024 වසරේදී නිල වශයෙන් විභේදනය සිදු වුවත්, කල්තබා තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීමේ යහපත් ප්‍රතිඵල අපට දැනටමත් පෙනෙන්නට තිබෙනවා. උදාහරණයක් ලෙස රක්ෂණ ක්ෂේත්‍රයේ මෙන්ම සාර්ව ආර්ථික සාධකයන්ගේ පැවති අභියෝග හමුවේ පවා, 2023 වර්ෂයේදී විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කරගැනීමට අපට හැකි වුණා. මෙය රක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත ඉදිරි ගමනක් සඳහා අප සතු හැකියාවට හා ශක්තියට සාක්ෂි දරනවා.” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

2023 වසරේදී මෙරට සමස්ත සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ දළ වාරික ආදායම (Gross Written Premiums – GWP) සම්බන්ධයෙන් සාමාන්‍ය වශයෙන් 5.7% ක වර්ධනයක් අත්කරගෙන තිබුණද, එම වසරේදී 14% වර්ධනයක් වාර්තා කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමත් වී තිබේ. රථවාහන රක්ෂණ සහ රථවාහන නොවන රක්ෂණ යන කාණ්ඩ දෙකම සැලකිය යුතු මට්ටමින් පුළුල් වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. මේ වනවිට රථවාහන රක්ෂණ අංශයේ ප්‍රමුඛයා ලෙස සිටීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමත් වී ඇති අතර, රථවාහන නොවන රක්ෂණද වැඩි පිරිසක් වෙත සමීප කරවීමට සමාගම පියවර ගනිමින් සිටී.

“මෙය හුදෙක් වර්ධනයක් පමණක් නොවෙයි. අපගේ ව්‍යාපාරික මෙහෙයුම්වල ක්‍රියාකාරීත්වය කැපීපෙනෙන ලෙස වර්ධනය වූවා. අප පුහුණුව, ක්‍රමෝපායික ස්ථානගත කිරීම් සහ විකුණුම් අංශයේ නව බඳවාගැනීම් මෙන්ම, දීමනා සහ කාර්ය සාධනය පදනම් කරගත් සේවක ප්‍රතිලාභ සඳහා නිසි ප්‍රමුඛත්වය ලබාදුන්නා. මේ නිසා සමස්ත සමාගම ආවරණයවන පරිදි යහපත් පරිවර්තනයක් සිදුකිරීමට අපට හැකි වී තිබෙනවා. 2023 වසරේදී කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ එකඟත්වයෙන් යුතුව, කාර්යසාධනය මත ගලපන ලද දිරි දීමනා ක්‍රමයක් හඳුන්වා දෙමින්, කාර්යසාධනයට මුල්තැන දෙන ආයතනික සංස්කෘතියක් ස්ථාපිත කිරීමට අපට හැකි වුණා.”

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත පෙරේරා මෙසේ සිය අදහස් පළකළේ ය. “2023 වසරේදී අපගේ කාර්යසාධනය, ක්ෂේත්‍රයේ ප්‍රවණතා සැලකිය යුතු මට්ටමකින් අභිභවා යන්නට සමත් වුණා. ඒ ඔස්සේ 5.7% ක වර්ධනයක් සමගින් අඛණ්ඩව රථවාහන රක්ෂණ අංශයේ ප්‍රමුඛයා බවට පත්වීමට අපට හැකි වූවා. මෙය රක්ෂණ ක්ෂේත්‍රයේ රථවාහන රක්ෂණ කාණ්ඩයේ සාමාන්‍ය වර්ධනය වූ 0.5% ට සාපේක්ෂව 10 ගුණයකටත් වඩා වැඩි වර්ධනයක්. එමෙන්ම, රථවාහන නොවන රක්ෂණ කාණ්ඩයේ සාමාන්‍ය වර්ධනය වූ 13% ට සාපේක්ෂව 27% ක් වැනි ඉහළ වර්ධනයක් වාර්තා කරගැනීමට අප සමත් වී තිබෙනවා.”

නිල වශයෙන් විභේදන ක්‍රියාවලිය සම්පූර්ණ වීමත් සමග, විශේෂයෙන්ම සෞඛ්‍ය රක්ෂණ සහ රථවාහන නොවන රක්ෂණ කාණ්ඩ ඇතුළුව සමස්ත සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ නව වෙළඳපොළ අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සූදානමින් සිටී.

“පාරිභෝගික රුචිකත්වය මත අවශ්‍ය පරිදි සැලසුම් කරගත හැකි සෞඛ්‍ය රක්ෂණ විසඳුම් හඳුන්වා දීම තුළින් අප උත්සාහ කරන්නේ, වෙළඳපොළේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සෞඛ්‍ය රක්ෂණ වෙළඳපොළක් නිර්මාණය කිරීමටයි. උදාහරණයක් ලෙස, ආයතනික රක්ෂණ ලබාගැනීමේ හැකියාව නොමැති පුද්ගලයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවා ලබාගැනීමට අවස්ථාව ලබාදීම සඳහා සහනදායී රක්ෂණ විසඳුම් දෙකක් හඳුන්වා දීමට අප පියවර ගත්තා.”

තම සේවා තවදුරටත් පුළුල් කරමින්, නවීන තාක්ෂණයන් ඔස්සේ පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීමටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් පියවර ගනිමින් සිටී. එම අරමුණින් සමාගම විසින් ඩිජිටල් යටිතල පහසුකම් සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) සඳහා මූලිකත්වය දී ඇත.

පාරිභෝගික තෘප්තිය සහතික කරමින් අඛණ්ඩව සහ නොවෙනස්ව ඉහළ ප්‍රමිතියකින් යුතු සේවාවක් ලබාදෙමින්, ව්‍යාපාර මෙහෙයුම් කාර්යක්ෂම තලයක තබාගැනීම ඔස්සේ ශක්තිමත් කාර්ය සාධනයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හට හැකි විය.

වසර 60 කට අධික උරුමයක් සමගින් මෙන්ම විශිෂ්ට කණ්ඩායමක කැපවීම තුළින් පන්නරය ලබන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ඉදිරියටත් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට විශිෂ්ටතම රක්ෂණ සේවා පිරිනැමීම සඳහා කැපවනු ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව