රුපියල අවප‍්‍රමාණය වීමේ බලපෑම් හමුවේ කොමර්ෂල් බැංකු සමූහයෙන් සංකීර්ණ කාර්යසාධනයක්

Commercial Bank Chairman Prof. Ananda Jayawardane (left) & Managing Director and CEO Mr Sanath Manatunge

 



 

 

කොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු වන කාර්තුව තුළදී සමබර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර තිබෙන අතර ඉතාමත් වේගයෙන් රුපියල අවප‍්‍රමාණය වීම ප‍්‍රධාන කාර්යසාධන දර්ශක වලට ධනාත්මක සහ සෘණාත්මක ලෙස දැඩිව බලපා තිබේ.

කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2022 මාර්තු 31 වනදායින් අවසන් වන මෙම කාර්තුව තුළදී රුපියල් බිලියන 54.573 ක දළ ආදායමක්, රුපියල් බිලියන 34.244 ක සමස්ත මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 28.284 ක ශුද්ධ මෙහෙයුම් ආදායමක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව පිළිවෙලින් 33.41% කින්, 41.74% කින් සහ 66.33% කින් වර්ධනය වීමකි.

පසුගිය වසරට සාපේක්ෂව ණය පොත වර්ධනය වීමට අමතරව 2022 මාර්තු මාසයේදී අනපේක්ෂිත ලෙස රුපියල විශාල වශයෙන් අවප‍්‍රමාණය වීම නිසා විදේශ මුදල් වලින් තිබෙන වත්කම් කළඹෙන් ලැබූ පොලී ආදායමේ දායකත්වයෙන් සමස්ත පොලී ආදායම් 19.41% කින් රුපියල් බිලියන 37.847 ක් දක්වා අදාළ මාස තුනක කාලය සඳහා වර්ධනය වී ඇත. මේ අතර, මෙම කාලය තුළදී පොලී වියදමද 17.30% කින් රුපියල් බිලියන 19.024 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ඒ සඳහා හේතුවී තිබෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව තැන්පතු කළඹේ ඇතිවූ වර්ධනය සහ රුපියල වේගයෙන් අවප‍්‍රමාණය වීම නිසා විදේශ විනිමය ණය සහ තැන්පතුවල පොලී වියදම වැඩිවීම හේතුවෙනි. මෙම තත්ත්වයන් තුළ කොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 18.823 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 21.62% ක වර්ධනයකි.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාපාර සඳහා මෙය අසාමාන්‍ය කාලයක්. ඒ තත්ත්වය බැංකු වලට විශේෂයි. මේ නිසා, පවතින අභියෝග ජයගනිමින් ඉදිරියට ඇදීමට අසාමාන්‍ය වූ මූල්‍ය විචක්ෂණශීලීභාවයක් සහ පරිනතභාවයක් අවශ්‍ය වෙනවා. පළමු කාර්තුවේ මූල්‍ය ප‍්‍රතිඵල මගින් පෙන්නුම් කරන්නේ අභියෝග ජයගැනීම සඳහා අපගේ කණ්ඩායමට තිබෙන ගැඹුරු කුසලතාවයයි.’

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරීවරයා ලෙසින් පසුගියදා පත්වීම් ලද සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘රුපියල විශාල වශයෙන් අවප‍්‍රමාණය වීම අපගේ ආදායමට සහ ලාභයට මෙන්ම ප‍්‍රධාන ශේෂ පත‍්‍ර දර්ශක වලට බලපෑමක් ඇතිකළා. කාර්යසාධනය ව්‍යාකූල කිරීමට මෙය හේතු විය හැකියි. කෙසේවෙතත්, මෙම අභියෝග හමුවේ වුවත් ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල පෙන්වීමට හැකි වී තිබෙනවා. එසේම, බාහිර සාධක මගින් ඇතිවන සෘණාත්මක බලපෑම් අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර අපි ඉක්මනින් කි‍්‍රයාත්මක කරනවා.’

මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 28.284 ක් දක්වා 66.33% කින් වර්ධනය වී තිබෙන අතර 2021 පළමු කාර්තුවේදී එම ආදායම වාර්තා වූයේ රුපියල් බිලියන 17.005 ක් ලෙසිනි. එසේම, මෙම කාර්තුව තුළදී මෙහෙයුම් වියදම රුපියල් බිලියන 8.721 ක් වූ අතර එය වර්ධනය වී තිබෙන්නේ 23.66% ක සාපේක්ෂකව  අඩු අනුපාතයකිනි. මේ අනුව, මෙම කාර්තුව තුළදී බැංකු සමූහය විසින් මූල්‍ය සේවා මත බදු වලට පෙර රුපියල් බිලියන 19.563 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 96.56% ක දැවැන්ත වර්ධනයක් වේ.

මේ අතර, සලකා බලන කාර්තුව තුළදී මූල්‍ය සේවා මත ගෙවූ අගය එකතු කිරීමේ බදු දෙගුණයකට වඩා වැඩිවෙමින් රුපියල් බිලියන 3.155 ක් වූ අතර එම වර්ධනයට හේතු වූයේ අගය එකතු කිරීමේ බද්දට යටත් වූ ලාභ වර්ධනය වීම සහ 2022 ජනවාරි 01 වනදා සිට අගය එකතු කිරීමේ බදු අනුපාතය 15% ක සිට 18% ක් දක්වා වැඩි කිරීමයි. මේ නිසා, ආදායම් බදු වලට පෙර බැංකු සමූහයේ ලාභය සලකා බලන කාර්තුවේදී 95.21% කින් වර්ධනය වී රුපියල් බිලියන 16.406 ක් වී තිබෙන අතර සමූහය බදු වලට පසුව රුපියල් බිලියන 11.775 ක ලාභයක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 73.23% ක වර්ධනයකි.

කොමර්ෂල් බැංකුව වෙනම ම ගත්විට මෙම කාර්තුව තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 16.089 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 96.61% ක වර්ධනයක් වේ. එසේම, කොමර්ෂල් බැංකුව සලකා බලන මෙම කාර්තුව තුළදී බදු වලට පසුව රුපියල් බිලියන 11.548 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 73.44% ක වර්ධනයකි.

මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ සහ බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 02 ක සංධිස්ථානය පසුකළ අතර මෙවැනි සංධිස්ථානයක් ශ‍්‍රී ලංකාව තුළ පසුකළ පළමු පුද්ගලික අංශයේ බැංකුව කොමර්ෂල් බැංකුවයි. 2022 මාර්තු 31 වනදා වනවිට කොමර්ෂල් බැංකු සමූහයේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 2.287 ක් බවට පත්වී තිබේ.

මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 133 කින් හෙවත් 12.16% කින් රුපියල් ටි‍්‍රලියන 1.228 ක් දක්වා වර්ධනය වී ඇත. මේ අතර, මෙම කාර්තුව තුළදී සමූහයේ සමස්ත තැන්පතු ප‍්‍රමාණය රුපියල් බිලියන 233 කින් හෙවත් 15.88% කින් වර්ධනය වී 2022 මාර්තු 31 වනදා වනවිට රුපියල් ටි‍්‍රලියන 1.706 ක් බවට පත්වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 20 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව