තිරසර වාර්තාකරණය සඳහා වූ ACCA සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබයි

ACCA Sustainability Reporting Awards 2024 (LBN)

ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, සමස්ත අනුශූරතාව හා බැංකු අංශයේ ඒකාබද්ධ ශූරතාව දිනාගනිමින් සම්මානයට පාත්‍ර විය.

කොමර්ෂල් බැංකුවට සමස්ත අනුශූරතා සම්මානය පිරිනමමින් ACCA විනිශ්චය මණ්ඩලය මෙසේ සඳහන් කළේය. “ආර්ථිකය දුෂ්කර වූ මේ කාලයේදී අවධානමට ලක්ව සිටින ප්‍රජාව පිළිබඳව ඇති සැලකිල්ල පෙන්නුම් කරමින් බැංකුව තම ව්‍යාපාරයේ සියළුම විෂය අංග ආවරණය වන පරිදි විශිෂ්ඨ වාර්ථාවක් ඉදිරිපත් කර ඇත.”

 



 

බැංකු අංශයේ කොමර්ෂල් බැංකුවේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් විනිශ්චය මණ්ඩලය මෙසේ පැවසීය: “තිරසාරභාවය සඳහා වන මාර්ගෝපදේශක මූලධර්ම මනාව ප්‍රකට කර ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා වන ආයෝජන කළඹෙන් 50%ක් SME අංශයේ කාන්තාවන් සඳහා වෙන් කර තිබේ. UNGC සහ SDG ද ඇතුලත් වන පරිදි විශිෂ්ඨ තිරසර රාමුවක් ඇත. ව්‍යාපාර ආකෘතිය තුළ ESG හි දී සලකා බලන සාධක ඇතුලත් වේ. ජාතික සෞඛ්‍ය සේවාව සඳහා සහ වෙරළ සංරක්ෂණය වැනි පාරිසරික සංස්ථාපිතයන් සඳහා සිදුකරන මෙහෙවර ජාතික සුබසාධනය උදෙසා අගනා දායකත්වයකි. සේවානියුක්තිකයින් හට තිරසාර අවශ්‍යතා පිළිබඳව පුහුණුව ද ලබා දෙයි.”

ACCA තිරසාර වාර්තාකරණ සම්මාන තුළින් පිළිගැනීමට ලක් වන්නේ අභ්‍යන්තර හා බාහිර පාර්ශවකරුවන්හට ව්‍යාපාරයේ ආර්ථික, පාරිසරික හා සමාජයීය බලපෑම් පැහැදිලිව ඒත්තු ගැන්වෙන ආකාරයෙන් පැහැදිලි කරන වාර්ෂික වාර්තා වේ. තවද, එමගින් තිරසාර සංවර්ධනයේ පරමාර්ථ කරා යාමට පිහිටුවන ලද සංවිධානයේ ප්‍රතිපත්ති, ඉලක්ක සහ දීර්ඝකාලීන අරමුණු නිරූපණය කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙම වසරේදී සිය ආයතනික ලාංඡනයට හරිතමය අංගයක් හඳුන්වා දෙන ලදී. ඒ තිරසාර බව, විවිධත්වය අඩංගු කිරීම, අන්තර්ගතකරණය, යහ පාලනය, විනිවිදභාවය, සමාජ සමානාත්මතාව, වගවීම හා පරිසර හිතකාමී බැංකුකරණ විසඳුම් ආදී වූ බැංකුව සතු බහුවිධ මුහුණුවර උදෙසා බංකුවේ ඇති කැපවීම පෙන්නුම් කරමිනි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව