කොමර්ෂල් බැංකුව ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) නියෝජිත කාර්යාලයක් විවෘත කරන පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට පත් වෙයි

Commercial Bank Chairman Mr Sharhan Muhseen & Managing Director and CEO Mr Sanath Manatunge (LBN)

මැදපෙරදිග, අප්‍රිකාව සහ දකුණු ආසියානු කලාපය (MEASA) තුළ ප්‍රමුඛතම ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානය වන ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) නියෝජිත කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ කොමර්ෂල් බැංකුවේ ජාත්‍යන්තර පියසටහන සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇත.

මෙම නව වර්ධනීය පියවර නිවේදනය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව පැවසූයේ DIFC හි නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙන් (DFSA) බලපත්‍රයක් දැනටමත් ලැබී ඇති අතර, නුදුරේ දී ම මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
 



 

මෙම නියෝජිත කාර්යාලය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) මෙහෙයුම් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ මෙන් ම බංග්ලාදේශයේ හා මාලදිවයිනේ බැංකුවේ ගැනුම්කරුවන් ඇතුළුව, එම කලාපයේ වර්ධනය වෙමින් පවතින සේවාදායක පදනම වෙනුවෙන් සම්බන්ධතා මධ්‍යස්ථානයක් ලෙස සේවය කරනු ඇති බව බැංකුව පවසයි. බංග්ලාදේශයේ ශාඛා 20ක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ මාලදිවයිනේ අංගසම්පූර්ණ පළමු පෙළ බැංකුවක් ද ඇති කොමර්ෂල් බැංකුවට දැනටමත් ශ්‍රී ලාංකාවේ බැංකු අතරින් පුළුල් ම ජාත්‍යන්තර පියසටහන සතු වෙයි.

මෙම නවතම වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා මෙසේ පැවසීය: “ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ පැවැත්මක් ස්ථාපිත කරන පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට පත්වීමෙන් කොමර්ෂල් බැංකුව නැවත වරක් පෙරමුණ ගනු ඇත. අප තුළ නිසගයෙන් ම පවතින උපායමාර්ගික දැක්ම සහ වර්ධනය වීමේ හැකියාව සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ ගෝලීය පියසටහන පුළුල් කළ යුතු අතර, එමගින් බැංකුවට තම ගනුදෙනුකරුවන්ගේ අරමුණු සහ අභිලාෂයන් සපුරාලීමට ද හැකියාව ලැබේ. එබැවින් DIFC හි නියෝජිත කාර්යාලයක් විවෘත කිරීම, කොමර්ෂල් බැංකුවේ ජාත්‍යන්තර පියසටහන පුළුල් කිරීම සඳහා වැදගත් පියවරක් වනු ඇත.”

“ජාත්‍යන්තර වේදිකාවේ අපගේ ගනුදෙනුකරුවන්හට සේවය කිරීමේ අභිලාෂයන් සපුරාලීම සඳහා මෙය ඉතා වැදගත් පියවරක් වන අතර අනාගත ව්‍යාප්තිය සඳහා විශිෂ්ඨ පදනමක් සපයයි.” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය. “මේ හරහා බොහෝ උපායමාර්ගික ප්‍රතිලාභ සහිත ප්‍රමුඛ ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානයක බැංකුව ස්ථාපිත කරයි. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ පැවැත්මක් ස්ථාපිත කිරීමෙන් බැංකුව, ගෝලීය ව්‍යාපාරික සම්බන්ධතාවයට සහය වන, හොඳින් නියාමනය කරන ලද, හා ජාත්‍යන්තරව පිළිගත් වේදිකාවක් තුළට ප්‍රවේශය ලබා ගනී. මෙමගින් අපගේ විදේශ සේවාදායකයින්ට සහාය වීමේ අපගේ හැකියාව වැඩි දියුණු කරන අතර මැද පෙරදිග කලාපය තුළ දිගුකාලීන වර්ධනක් ඇති කරයි”.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව