කෘෂි යන්ත්‍රෝපකරණ මෙරටදී එකලස් කිරීම සඳහා ජිනසේන සමාගම දකුණු කොරියාවේ KAMICO හා එක්වෙයි

Jinasena KAMICO

දකුණු ආසියානු වෙළඳපළට කෘෂි උපකරණ අපනයනය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වෙයි.

ශ්‍රී ලංකාවේ ජල කළමණාකරණ පද්ධති හා විසඳුම් සැපයුම්කරුවන් අතර ප්‍රමුඛයින් වන ජිනසේන සමාගම කොරියාවේ කෘෂි උපකරණ නිෂ්පාදන සාමූහිකය (Korean Agricultural Machinery Industry Cooperative – KAMICO) සමඟ මෙරටදී කෘෂි යන්ත්‍රෝපකරණ එකලස් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි. කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය සම්බන්ධයෙන් කොරියාවේ තාක්ෂණික විශේෂඥතාව භාවිත කරමින් දේශීය සහ කලාපීය වෙළඳපල වෙත ඒවා සැපයීම මෙම එකඟතාවයේ අරමුණ වී තිබේ.

දේශීය හා කලාපීය වශයෙන් පවතින කෘෂිකාර්මික අවශ්‍යතා සහ තත්වයන් මැනවින් හඳුනා ගනිමින් දෙපාර්ශවය මෙම  ගිවිසුමට එළඹ ඇති අතර ඒ යටතේ ජිනසේන සහ KAMICO එක්ව තත්වයෙන් උසස් කෘෂි යන්ත්‍රෝපකරණ මෙරටදී එකලස් කර වෙළඳපළට නිකුත් කිරීමට නියමිතය. මෙම ආයතන දෙක  කෘෂි උපකරණ පිළිබදව වන මෙරට එකම ජාතික මට්ටමේ පුහුණු ආයතනය වන  කෘෂි උපකරණ පර්යේෂණ මධ්‍යස්ථානය (FMRC) හා සම්බන්ධ වෙමින් කෘෂි උපකරණ  වැඩිදියුණු කර නිපදවීමට සැලසුම් කර තිබේ. මෙහිදී මෙරට ගොවිබිම් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කොට එම ගොවි බිම් වලට  ගැලපෙන ආකාරයට කෘෂි යන්ත්‍රෝපකරණ එකලස් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව KAMICO විසින් උසස් තත්වයෙන් යුතුව නිපදවා ඇති  කෘෂි යන්ත්‍රෝපකරණ මෙරට වෙළදපල අවශ්‍යතා අනුව ගලපා ඊට සරිලන ආකාරයට නවාංග එක්කොට ඒවා වැඩිදියුණු කොට එකලස් කිරීම ජිනසේන කර්මාන්ත ශාලාවේදී සිදුකිරීමට නියමිත ය. මෙම නව වැඩපිළිවෙළ ඔස්සේ ශ්‍රී ලාංකික වෙළදපලට පමණක් නොව අනිකුත් දකුණු ආසියානු රටවල් වෙත මෙම කෘෂි යන්ත්‍රෝපකරණ අපනයනය කිරීමටද සැලසුම් කර ඇත. ජිනසේන සමාගම  සහ  KAMICO අතර ඇති මෙම ගිවිසුම යටතේ  තරඟකාරී මිළ ගණන් වලට තත්වයෙන් උසස් කෘෂි  යන්ත්‍රෝපකරණ මිළදී ගැනීමට මෙරට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවනු ඇත.

බලයෙන් උසස්, වේගවත්, කල්පවතින හා අරපිරිමැසුම්දායක විවිධ නිෂ්පාදන පෙළක් ජිනසේන කෘෂි යන්ත්‍රෝපකරණ අංශය (JAM) විසින්  මෙරට වෙළඳපළට ඉදිරිපත්කර තිබේ. වර්ෂ 1978 දී හදුන්වා දුන් ගොයම් පාගන යන්ත්‍රය ආදී යන්ත්‍ර ඔස්සේ මෙරට ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත් ජිනසේන සමාගම වර්තමානය වන විට යාන්ත්‍රික වල් නෙලනය(Roto Slasher), බහු කාර්ය කැබලිකරණය(Multi Chopper), ගම්මිරිස් බීජ වෙන්කරනය(Pepper Thresher), බිම් සැකසීමේ යන්ත්‍ර(Roto Tiller), බහු කාර්ය ඇඹරුම් යන්ත්‍ර(Multi Grinder), කුඩා බහු කාර්ය කැබලිකරණය(Mini Multi Chopper), තේ සැකසීමේ යන්ත්‍ර(Tea Cutter), තණකොළ කපන යන්ත්‍ර ආදී යන්ත්‍ර රැසක් වෙළඳපලට නිකුත් කරමින් සිටියි. මෙම යන්ත්‍ර සඳහා දිවයින පුරා සේවා මධ්‍යස්ථාන 16 කදී අලෙවියෙන් පසු සේවා සැපයීම ද ජිනසේන සමාගම විසින් සිදුකරමින් සිටියි. එම මධ්‍යස්ථාන බුත්තල,බේරුවල, ඒකල, අවිස්සාවේල්ල, දඹුල්ල, මහනුවර, ගාල්ල, කදුරුවෙල, අනුරාධපුරය, කුරුණෑගල, අම්පාර, ඇඹිලිපිටිය, නුවර එළිය, තබුත්තේගම, කොළඹ සහ යාපනය යන ප්‍රදේශවල පිහිටා තිබේ.

KAMICO සමඟ ඇතිකරගත් මෙම ගිවිසුම පිළිබඳව අදහස් දැක්වූ සිමාසහිත ජිනසේන සමාගමේ අධ්‍යක්ෂ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ධනුෂ්ක විජයපාල මහතා සඳහන් කළේ මෙම අවස්ථාව ජිනසේන සමාගමට මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවටම සුවිශේෂි අවස්ථාවක් වන බවයි. මෙම සබඳතාව ඔස්සේ ලොව ප්‍රකට කොරියානු තාක්ෂණය මෙරට කෘෂි යන්ත්‍රෝපකරණ  ක්ෂේත්‍රය  සමඟ සෘජුවම සම්බන්ධ කෙරෙන අතර ඒ ඔස්සේ මෙරට කෘෂි යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය තවත් පියවරකින් ඉදිරියට තබනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.  ශ්‍රී ලංකාවේ කෘෂි අවශ්‍යතා සහ ඊට ගැලපෙන යන්ත්‍රෝපකරණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජිනසේන අලෙවි කණ්ඩායම සතු වන බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ  KAMICO විශේෂඥයින් හා එක්ව එම ගොවි අවශ්‍යතා වලට සරිලන ආකාරයට එකලස් කල නිෂ්පාදන පෙළක් වෙළදපලට ඉදිරිපත් කිරීමට ජිනසේන සමාගම අපේක්ෂා කරන බවයි. මෙම කෘෂි යන්ත්‍රෝපකරණ ජිනසේන කර්මාන්තශාලා පරිශ්‍රයේදී එකලස් කර කෘෂි උපකරණ පර්යේෂණ මධ්‍යස්ථානයේ (FMRC) අනුමැතිය ලබාගෙන වෙළඳපළට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ධනුෂ්ක විජයපාල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලාංකික වෙළඳපලට  කොරියානු තාක්ෂණයෙන් යුතු කෘෂි උපකරණ හදුන්වා දීම  පදනම් කර ගනිමින් සමස්ත දකුණු ආසියානු කලාපයටම එම නිෂ්පාදන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන  බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වර්ෂ 1962 පිහිටවනු ලැබූ KAMICO ආයතනය අඩසියවසකට අධික කාලයක් පුරා කොරියාවේ කෘෂි යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයකි. වසර 2015 දී KAMICO විසින් පිහිටුවනු ලැබූ කොරියානු කෘෂිකාර්මික උපකරණ පිළිබඳ ගෝලීය මධ්‍යස්ථානය විසින් කොරියානු කෘෂි යන්ත්‍රෝපකරණ ගෝලීය වෙළඳපල වෙත හඳුන්වා දීමට කටයුතු කළේය. KAMICO හි සභාපති ෂිහින් ගිල්කිම් මහතා සඳහන් කළේ “දශක කිහිපයක් පුරා ශ්‍රී ලාංකික ගොවි ජනයාගේ විශ්වාසය දිනු සමාගමක් වන ජිනසේන සමාගම හා එක්ව කටයුතු කිරීමට අවස්ථාව හිමිවීම පිළිබඳ සතුටට පත්වන බවයි. දකුණූ කොරියාවේ පවතින අධික නිෂ්පාදන වියදම සමඟ දකුණු ආසියානු වෙළඳපළට සරිලන ආකාරයට කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කිරීම අසීරු කරුණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය. එම නිසා කොරියානු විශේෂඥ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ජිනසේන කර්මාන්ත ශාලාවේදී සිය කෘෂි යන්ත්‍රෝපකරණ එකලස් කිරීමට කටයුතු කළ බව ඒ මහතා සඳහන් කරයි.

වර්ෂ 1905 දී පිහිටවනු ලැබූ ජිනසේන පුද්ගලික සමාගම මෙරට ප්‍රථම ඉංජිනේරු සමාගම වෙයි. වසර 1932 දී ජිනසේන සමාගම මෙරට ප්‍රමුඛතම ඉංජිනේරු සමාගම් 5 අතරට එක්විය. වර්ෂ 1950 දී ජිනසේන සමාගමේ නිර්මාතෘ ටී.එස් ජිනසේන මහතාගේ පුත්‍රයා විසින්  ජිනසේන සෙන්ට්‍රික් වතුර පොම්පය නිර්මාණය කර නිෂ්පාදනය කරන ලදී. එතැන් පටන් මේ දක්වාම සම්පූර්ණයෙන් මෙරට නිපදවන එකම වතුර පොම්පය වන්නේ ද ජිනසේන වතුර පොම්පයයි. එම වතුර පොම්පය මේ වනවිට මෙරට වෙළඳපලේ සැලකිය යුතු වෙළද ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින අතර අවශ්‍ය තරම් අමතර කොටස් තිබීම, වගකීමක් සහිත අලෙවියෙන් පසු සේවය ආදී විශේෂතා නිසා දිනෙන් දින මහජන ගෞරවය තවදුරටත් වර්ධනය කරගනිමින් සිටින සමාගමකි. වතුර පොම්ප වලට අමතරව බිංදු සහ විසුරුම් පද්ධති, ජල පිරිසිදු කරන විසදුම්, වාරිමාර්ග විසදුම් සහ සූර්ය බල විසදුම් ආදී විවිධ නිෂ්පාදන රැසක් ජිනසේන සමාගම පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කරයි.  මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ ජල කළමණාකරන විසඳුම් එකම වහලක් යටදී  සපයන සමාගම් කිහිපය අතර ප්‍රමුඛ තැනක් ජිනසේන සමාගම හිමිකර ගැනීමයි. මෙම නිෂ්පාදන වලට අමතරව පුනර්ජනනීය බලශක්තිය, අපද්‍රව්‍ය කළමණාකරණය,  සහ කෘෂි යන්ත්‍රෝපකරණ ආදී  කාර්ය රැසක් සඳහා   ජිනසේන සමාගම සිය දායකත්වය සපයා තිබේ. “අවශ්‍යතා සහ හැකියාවන්  රැසක් සහිත එක් විශ්වාසවන්ත නාමයක්“ යන තේමාව යටතේ ජිනසේන සමාගම කටයුතු කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව