ඒෂියන් බෑන්කර් ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගනී

Asian Banker Strongest Bank award 2020

ශක්තිමත් ශේෂ පත‍්‍රය පදනම් කරගනිමින් ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස ‘ද ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.

2021 පෙබරවාරි 25 වනදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙරට ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට මෙම සම්මානය ලබාදුන් අතර මෙම ශ්‍රේණිගත කිරීමෙහි කොමර්ෂල් බැංකුවත් ඊළඟ දේශීය බැංකුවත් අතර පරතරය ස්ථාන 50ක් විය.

මෙම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම සම්මානය මගින් විදහා දක්වන්නේ බැංකුවේ දරාගැනීමේ ශක්තිය පමණක් නෙවෙයි. අර්බුදකාරී පරිසරයක වර්ධනය වීමට අපට තිබෙන හැකියාවත් මෙයින් පිළිඹිබු වෙනවා. වසංගතයේ බලපෑමෙන් මිදීමට අපගේ ගනුදෙනුකරුවන්ට අඛණ්ඩව සහයෝගය දැක්වීමට ශක්තිමත් ශේෂ පත‍්‍රයක් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වෙනවා.’

 




 

 

ඒෂියන් බෑන්කර් ශක්තිමත්ම බැංකු වර්ගීකරණය අගෝස්තු සහ සැප්තැම්බර් මාසය අතරතුර නිවේදනය කළ යුතු වුවත් 2020 වර්ගීකරණය එළිදැක්වීම පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ප‍්‍රමාද කරන ලදී. එයට හේතුවූයේ 2020 මූල්‍ය වසරේ දත්ත ඇසුරෙන් ආයතන වල ප‍්‍රතිඵල වලට වසංගත තත්වය බලපෑ අන්දම සොයා බැලීමට පර්යේෂණ කණ්ඩායමට අවස්ථාව ලබාදීමටයි. මේ අනුව, සඟරාව සඳහන් කරන්නේ මේ වසරේ බැංකුවල මූල්‍ය කාර්යසාධනය සඳහා වසංගතයෙන් සිදුවූ බලපෑමද නිරූපණය වන බවයි.

‘ද ඒෂියන් බෑන්කර්’ 2020 ශ්‍රේණිගත කිරීම මගින් හඳුනාගෙන තිබෙන්නේ ගෝලීය වසංගතය හමුවේ වුවද ගෝලීය ආර්ථික කටයුතු නැංවීම සඳහා දායකත්වයක් ලබාදුන් බැංකු සහ මූල්‍යායතන වේ. මෙම බැංකු සහ මූල්‍යායතන ආර්ථික කටයුතු සහ ජීවන තත්ත්වයන් යථා තත්ත්වයට පත්කිරීමට හොඳින් හැඩගැසී තිබෙන බවද සඟරාව සඳහන් කරයි.

ප‍්‍රමාණය වැඩිකිරීමට තිබෙන හැකියාව, ශේෂ පත‍්‍ර වර්ධනය, අවදානම් කළඹ, ලාභදායීතාවය, වත්කම්වල ගුණාත්මක තත්ත්වය සහ ද්‍රවශීලතාවය යන ශේෂ පත‍්‍රයේ මූල්‍ය කාර්යසාධනයේ අංශ හයක් පිළිබඳව ස්වාධීන තක්සේරුවක් කර විනිවිදභාවයෙන් ලබාදුන් ලකුණු වලට අනුව ‘ද ඒෂියන් බෑන්කර්’ සම්මාන ලබාදී තිබේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 887 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව