එමිරේට්ස්, ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය සමග ගිවිසුමක් අත්සන් කරයි

Webp.net-resizeimage

 



 

 

 

එමිරේට්ස් ගුවන් සමාගම, ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය සමග මාර්තු 4 දින අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක් සමඟ ගුවන් සමාගම ශ‍්‍රී ලංකාව කෙරෙහි තිබෙන කැපවීම යළිත් තහවුරු කර තිබේ. මෙරට වෙළෙඳ සහ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට උපකාරී වන අන්‍යෝන්‍ය වශයෙන් ප‍්‍රතිලාභ ලබන වැඩසටහන් මෙම ගිවිසුම මගින් ආවරණය කර ඇත.

මෙම ගිවිසුම එමිරේට්ස් ගුවන් සමාගමේ වාණිජ අංශයේ බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කළාපය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපති, අහ්මඞ් කූරි මහතා සහ ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ සභාපතිනිය වන කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය විසින් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම අත්සන් කරන අවස්ථාවට සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා, ඩුබායි හි ශ‍්‍රී ලංකා කොන්සල් ජෙනරාල් නලින්ද විජේර්ත්න මහතා සහ එමිරේට්ස් සමාගමේ ජාත්‍යන්තර කටයුතු සඳහා ප‍්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෙයික් මජිඞ් අල් මුඅල්ලා මහතා සහභාගී වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සමාගමේ වාණිජ අංශයේ බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කළාපය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපති, අහ්මඞ් කූරි මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ශ‍්‍රී ලංකාව එමිරේට්ස් ගෝලීය ජාලයේ ඉතාමත් වැදගත් ගමනාන්තයක්. අද අත්සන් කරන ලද ගිවිසුම මගින් ශ‍්‍රී ලංකාව කෙරෙහි තිබෙන අපගේ ශක්තිමත් කැපවීම විදහා දක්වා තිබෙනවා. අපි මීට වසර 35 කට පෙර කොළඹට ගුවන් ගමන් ආරම්භ කළා. අපගේ ඒකාබද්ධතාවය ඉදිරියටත් අඛණ්ඩව තව තවත් ශක්තිමත්ව වර්ධනය වනු ඇතැයි අපට විශ්වාසයි. ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ සහ සංචාරක අංශ නගා සිටුවීම සඳහා අනෝන්‍ය වශයෙන් ප‍්‍රතිලාභ ලබන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා. එහිදී, ඉල්ලූමට සරිලන පරිදි සේවා කි‍්‍රියාත්මක කිරීමට එමිරේට්ස් ගුවන් සමාගමට අවස්ථාව හිමි වෙනවා.’

ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ සභාපතිනිය වන කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය මෙසේ අදහස් දැක්වීය. ‘ශ‍්‍රී ලංකාව එමිරේට්ස් වැනි උපායමාර්ගික වශයෙන් වැදගත් වන පාර්ශවකරුවන් සිටින සුන්දර ගමනාන්තයක්. මෙය ශ‍්‍රී ලංකාවේ සංචාරක සහ ගමන් කර්මාන්තයේ ඉදිරි ගමන සඳහා ඉතාමත් වැදගත් අංගයක්. වර්ධනය වෙමින් තිබෙන අවස්ථාවන් දිනාගැනීම සඳහා මෙම ඒකාබද්ධතාවය ඉතාමත් වැදගත් වෙනවා. එසේම, ශී‍්‍ර ලංකාව සහ ගමනාන්තයේ ගුණාත්මක භාවය පිළිබඳව ගෝලීය සංචාරක කර්මාන්තය දැනුවත් කිරීමට මේ තුළින් බොහෝ අවස්ථාවන් උදාවෙනවා. මේ නිසා, මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අපි අතිශයින් සතුටුවන අතර පසුගිය දශක තුනක දිගු කාලය පුරා එමිරේට්ස් විසින් අප වෙත ලබාදුන් සියළුම සහයෝගයන්ට සහ විශේෂයෙන්ම වසංගත කාලයේදී ලබාදුන් සහයෝගයට අපි ස්තූතිවන්ත වෙනවා. එකට එක්වීමෙන් සක‍්‍රීයව ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කරමින් වෙළෙඳපොළට සේවා සැපයිය හැකි බව අපට විශ්වාසයි.’

එමිරේට්ස් සහ ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය විසින් ඇති කරගත් මෙම ගිවිසුමට අනුව වෙළෙඳ ප‍්‍රදර්ශන, වෙළෙඳ සමීපකරණ සංචාර, ප‍්‍රදර්ශන සහ වැඩමුළු වැනි ඒකාබද්ධ වැඩසටහන් මගින් වෙළෙඳ සහ සංචාරක කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සැලසුම් කර තිබේ.

2021 වසරේ පෙබරවාරි මාසයේ සිට ජාත්‍යන්තර සංචාරකයින්ට ශ‍්‍රී ලංකාව ආරක්ෂිතව විවෘත කිරීමෙන් පසුව එමිරේට්ස් විසින් මගීන් 80,000 කට වැඩි පිරිසක් කොළඹට ප‍්‍රවාහනය කර ඇත. මෙම සංචාරකයින් ප‍්‍රමුඛතම සංචාරක වෙළෙඳපොළවල් වන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඉතාලිය, එංගලන්තය සහ ජර්මනිය යන රට වලින් පැමිණ තිබේ. එමිරේට්ස් ගුවන් සමාගම මේ වනවිට සතියකට කොළඹට ගුවන් ගමන් වාර 28 ක් සිදුකරන අතර පළමු පන්තියේ ගුවන් සේවා සමග මේ වනවිට ශ‍්‍රී ලංකාවට ගුවන් ගමන් සිදුකරන එකම ජාත්‍යන්තර ගුවන් සමාගම වන්නේද එමිරේට්ස් ගුවන් සමාගමයි.

එමිරේට්ස් ගුවන් සමාගම මේ වනවිට ඉතාමත් සුරක්ෂිතව එහි ගෝලීය ජාලයේ ගමනාන්ත 120 කට වැඩි සංඛ්‍යාවක් වෙත ඩුබායි ඔස්සේ ගුවන් ගමන් නැවතත් ආරම්භ කර තිබේ. සිය නව්‍ය වූ සේවා මගින් ගුවන් සේවා කර්මාන්තයේ ප‍්‍රමුඛයෙකු බවට පත්වීමට එමිරේට්ස් සමත්වී තිබෙන අතර ඒ අතරට ගමනේ සෑම අදියරකටම අදාළ වන පුළුල් සෞඛ්‍ය සහ සුරක්ෂිත ක‍්‍රියාමාර්ග සහ ඩුබායි ගුවන්තොටුපොළේදී ස්පර්ශ නොවන තාක්ෂණයන් භාවිතා කිරීම, කාරුණික සහ නම්‍යශීලී ලෙස ගුවන් ගමන් වෙන්කර ගැනීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙන්ම කොවිඞ් -19 වෛද්‍ය රක්ෂණාවරණය ඇතුළත් වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව