අමානා බැංකුවේ සිද්දීක් අක්බාර් මහතා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ සභාපති ලෙස පත් වේ

Amana Bank

අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ සභාපති තනතුරට පත්ව තිබේ. පසුගියදා පැවති එම සංගමයේ වාර්ෂික මහසභා වාරයේදී මෙම පත්වීම සිදු කරන ලද අතර, එය පොලිය පදනම් කර නොගත් ඉස්ලාමීය බැංකුකරණය සම්බන්ධයෙන් එතුමා සතු හසළ දැනුම සහ පළපුරුද්ද යළි වරක් තහවුරු කරයි.

 



 

සිද්දීක් අක්බාර් මහතා අමානා බැංකුව ආරම්භයේ පටන් එහි අලෙවිකරණ මෙහෙයුම් සදහා  අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස එක් වූ අතර, ඉන් අනතුරුව  උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) තනතුර දක්වා උසස්වීම් ලැබී ය. අමානා බැංකුව සමග එක්වීමට පෙර ඒ මහතා මූල්‍ය, දුරකථන සන්නිවේදන සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ යනාදී වෙළඳ ක්ෂේත්‍රවල අලෙවි කළමනාකරණ සහ සන්නාම කළමනාකරු තනතුරු දරා තිබේ. එමෙන්ම ඒ මහතා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කළේ ය.

සිද්දීක් අක්බාර් මහතා දේශීය හා ජාත්‍යන්තර ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය වැඩසටහන් රැසකදී අමානා බැංකුව සහ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කර ඇති අතර, සිය දැනුම හා පළපුරුද්ද සම්බන්ධයෙන් ක්ෂේත්‍රය තුළ විශාල ගෞරවයක් දිනා ඇත. 2015 වසරේදී විකල්ප මූල්‍ය ආයතන සංගමයේ සමාරම්භක උප සභාපති ලෙස පත් වූ ඒ මහතා, මෙරට දෙමාපිය රැකවරණය අහිමි දරුවන් සමාජයේදී නැවත වරක් ප්‍රතික්ෂේපවීම වැළැක්වීමේ අරමුණින් ස්ථාපිත කළ ‘OrphanCare’ භාරය ආරම්භ කිරීම සඳහාද කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළ අතර, අද දක්වාම එහි කළමනාකාරීත්වයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

2015 වසරේදී ආරම්භ වූ විකල්ප මූල්‍ය ආයතනය සංගමය, මෙරට විකල්ප මූල්‍ය සේවාවන් සපයන සියලුම බැංකු සහ මූල්‍ය ආයතන නියෝජනය කරයි. පොලිය පදනම් කර නොගත් බැංකු සහ මූල්‍ය සේවාවන් ඇතුළුව විකල්ප මූල්‍ය සේවා ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කරමින්, ඉන් රටටත් සමස්ත රටවැසියන්ටත් ප්‍රතිලාභ හිමිකර දීම එම සංගමයේ අරමුණ වී තිබේ.

මෙම නව පත්වීම සම්බන්ධයෙන් සිද්දීක් අක්බාර් මහතා මෙසේ තම අදහස් දැක්වී ය. “විකල්ප මූල්‍ය ආයතන සංගමයේ සභාපති ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් ලැබීම  මට මහත් සතුටක්. ක්ෂෙත්‍රයේ සියලු දෙනා එකට එක්ව මෙම සුවිශේෂී බැංකුකරණ  හා මූල්‍ය ආකෘතිය වැඩිදියුණු කිරීම සඳහා ගන්නා සාමූහික උත්සාහය මැනැවින් සංකේතවත් කරන එකමුතුවක් ලෙස මෙම සංගමය  හැඳින්විය හැකියි. මේ ගෞරවණීය කමිටුවත්, සමස්ත ක්ෂේත්‍රයත් සමග සමීව කටයුතු කරමින්, ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගවලට පිළියම් සෙවීමටත්, දැනුම් හුවමරුව ප්‍රවර්ධනය කිරීමටත්, විශේෂයෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයන්ට පොලිය පදනම් කර නොගත් බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව සලසා දීමටත් මා බලාපොරොත්තු වනවා. එමෙන්ම, මගේ දැනුම හා පළපුරුද්ද තවදුරටත් වැඩිදියුණු කරගැනීම සඳහා අවස්ථාව ලබාදීම වෙනුවෙන් මා අමානා බැංකුවට ද ස්තූතිවන්ත විය යුතුයි.”

සිද්දීක් අක්බාර් මහතාට අමතරව  සුරේෂ් පෙරේරා මහතා (KPMG) සංගමයේ උප සභාපති ලෙසත්, රිෆ්කා සියාර්ඩ් මිය (KPMG) එහි ලේකම් ලෙසත්, බහාර් නයන් මහතා (NDB) භාණ්ඩාගාරික ලෙසත්, හිශාම් අලී මහතා (HNB) සහකාර භාණ්ඩාගාරික ලෙසත්, ඉල්සාම් අව්ෆර් මහතා (LOFC) සහකාර ලේකම් ලෙසත් කටයුතු කරති. සංගමයේ ආරම්භක සභාපති වූයේ අභාවප්‍රාප්ත රවී අබේසූරිය මහතා ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව